පළාත - බස්නාහිර

දිස්ත්‍රික්කය - කොළඹ

පරිපාලන නගරය - කොළඹ

භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 55 කි.

 

- සීමා -

උතුරින් - හෝමාගම සිට කොළඹ දක්වා වූ බස් මාර්ගයෙන් ද

දකුණින් - බොල්ගොඩ ගංගාවෙන් ද

බටහිරින් - බොල්ගොඩ ගඟේ උතුරු දෙසට විහිදෙන ජලාශයේ ද,

නැගෙනහිරින් - හෝමාගම ප්‍රාදේශීය ලේකම් - කොට්ඨාසයට අයත් පොල්ගස් ඕවිට සිට කොට්ටාව දක්වා ඇති බස් මාර්ගයෙන් හා එලෙම්බුව නමින් හැඳින්වෙන ඇල මාර්ගයෙන් ද මායිම් ව ඇත.

ග්‍රාම සේවා වසම් - 73

ප්‍රධාන ආර්ථික මාර්ගය - සේවා හා කාර්මික අංශයෙන්

ජනගහනය - 118,201

 

කෝට්ටේ හෙවත් ජයවර්ධනපුරය ලංකාවේ අගනුවර වශයෙන් පැවැති කාලච්ඡේදය වන්නේ ක්‍රි.ව. 1400 පමණ සිට 1565 දක්වා කාලය යි. එවකට ලංකාවේ ජනගහනයෙන් වැඩි කොටස ජීවත් වුයේ දිවයිනේ බටහිර වෙරළබඩ ප්‍රදේශයේ ය. මේ ජනාවාස දකුණින් දෙවිනුවර සිට උතුරින් හළාවත දක්වා පැතිරී තිබිණි. සතර කෝරළය, සත් කෝරළය සහ සබරගමුව ප්‍රදේශ ද සැලකිය යුතු ජනගහනයකින් යුක්ත විය. අවුරුද්දෙන් සෑහෙන කාලයක් වර්ෂාව ලැබුණු බටහිර වෙරළාසන්න ප්‍රදේශය ජනාවාසයට ඉතා කදිම විය. වර්ෂා ජලයෙන් ගොවිතැන් කිරීම ඊට බලපෑ ප්‍රධාන කාරණාවයි.

සයවන පරාක්‍රමබාහු රජු විසින් දහතුන්වන ශත වර්ෂයේ සිට අර්ධ ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පැවැති රජරට වන්නි ජනප්‍රදයත් තම අණසක යටතට ගන්නා ලදී. සවැනි පරාක්‍රමබාහු රජු තම පාලනය යටතට මුළු දිවයිනම ගෙන ආ නමුත් ඒ දේශපාලන එකමුතුව ස්ථාවර පදනමක නොතිබිණි.

කෙසේ වෙතත් කෝට්ටේ යනු සැබවින්ම අසිරිමත් පුරවරයකි. එකල එය ඉතා හොඳ ආරක්ෂිත පුරවරයක් විය. ස්වයංපෝෂිත ජීවන රටාවකින් ද යුතු විය. ජනයා පී‍්‍රතියෙන් ප්‍රමෝදයෙන් විනෝද සයුරේ ගිලී කටයුතු කළ බවට ද සාධක තිබේ. ආගමික හා ශාස්ත්‍රීය ලේඛන කලාවන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් සමඟම එකී ශාස්ත්‍රයන්ගේ පුනර්ජීවනය ද ප්‍රගතිය ද ඉහළින්ම සිදු විය. තවද කෝට්ටේ යනු සොබා සිරියෙන් ද අග තැන්පත් පුරවයක්ව පැවැතිනි.

සයවැනි පරාක්‍රමබාහු මහරජතුමාගේ රාජෙේ‍යීදය ක්‍රි.ව. 1410, 1412 සහ 1415 වශයෙන් මුලාශ්‍රයන් තුනක සඳහන් ය. එතුමා රාජ්‍යයට පැමිණ වසර 2ක් ඇතුළත සිය ආදරණීය මව වන සුනේත්‍රා දේවිය සිහිවීම වස් එතුමියගේ නමින් ‘සුනේත්‍රාදේවි පිරිවෙන් රජ මහා විහාරය’ කරවන ලදී. එකල පැවැති ඇතැම් සංසිද්ධි මෙහි ඇති නෂ්ටාවශේෂවලින් අදත් හෙළිදරව් කරගත හැකියි.

කැස්බෑව පිළිබඳව ද අපුරු ඓතිහාසික තොරතුරු රැසක් ද අනාවරණය වෙයි. වැල්මිල්ලේ පුවරු ලිපිය, මාම්පේ සන්නස, දෙමළ දූව සන්නස ඊට කදිම සාක්ෂි ය. මාම්පේ සන්නසින් ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කිරීමට සෙම්බගප්පෙරුමාල් නැතිනම් සපුමල් කුමාරයාට නින්ද ගම් වශයෙන් ඍඪඪ වැනි බුවනෙක බාහු මහ රජතුමා තෑගි දුන් නින්ද ගම් ගැන සඳහන් ය. මාම්පේ ගනේවත්ත දේවාලය එදා පටන් අදත් හුදී ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවන්නකි.

දෙමළ දූව සන්නසින් ද සපුමල් කුමරුට දළදා වහන්සේගේ ආරක්ෂක හා ආවතේව කිරීම් සඳහාත් පැවරූ නින්ද ගමක් ලෙස සැලකේ. දෙමළ දූව යනු අද කැස්බෑව වැව ලෙස හඳුනාගෙන ඇත.

එසේම ප්‍රදේශයේ සෞන්දර්යය වඩවන වැව් ද කිහිපයකි. ඓතිහාසික දේවාල ද වෙයි. මේ සියල්ල මෙවර අප කළ ගවේෂණයේදී ඔබට ගෙන හැර දක්වමු.

වයි.කේ.එස්.ජීවමාලා

ප්‍රාදේශීය ලේකම් - කැස්බෑව

කැස්බෑව