ජම්බුගස වෙන වාර වලටත් වඩා රත් පැහැයෙන් දිලෙන්නේ බිම ද පලසක්ව රතුපැහැයෙන් දිදුලවමිනි. පරිසරයේ දැඩි නිහඬතාව බිදෙන්නේ විටින් විට වැටෙන ජම්බු ගෙඩි නිසා ය. ගිරවුන්, ලේනුන්, කොණ්ඩ කුරුල්ලන් ජම්බු ගස වෙත වරින් වර පැමිණ බඩ පුරවා ගත්තේ වැඩි කලබලයකින් තොරව ය. මුළු පරිසරය ම එක ම රිද්මයකින් නැළවෙමින් තිබිණි. එකවර ජම්බු ගස පැත්තෙන් කලබලයක් ඇසෙන්නට විය. එක දෙක වැටෙමින් තිබුණු ජම්බු තම රිද්මය පසෙකලා පහ දහය එකවර වැටෙන්නට විණි. මොහොතකින් කෑම ලෑල්ල පැත්තෙන් ද ඝෝෂාවක් ඇසෙන්නට විණි. කුරුල්ලන් මෙතරම් බිය වන්නේ කුමකට දැයි දැන ගැන්මට මම මිදුල දෙසට පිය මැන්නෙමි. කුඩා කොළ පැහැති කුරුල්ලෙක් කෑම ලෑල්ලට එන ලේනුන්ට හා කුරුල්ලන්ට තර්ජනය කරමින්, කොටමින් සිටියේ ය. දැඩි කලබල බවක් පෙන් වූ මේ කුරුල්ලා පොළොස් කොට්ටෝරුවා ය. ලේනුන් ශීඝ්‍රයෙන් අඹ ගස දිගේ දිව ගියේ තියුණු හොට පහරින් ගැළවෙන්නට ය.

බත් ඇට ද ශීඝ්‍රයෙන් එහෙට මෙහෙට විසි විණි. කෑම ලෑල්ලට ආ චණ්ඩියාට බියෙන් කොණ්ඩ කුරුල්ලන්, කහ කුරුල්ලන්. දෙමලිච්චන් අතු පතර සැඟ වී ගත්හ. උදෑසන දැමූ කෙසෙල් ගෙඩි කිහිපයට එහෙන් මෙහෙන් ඇන කටවල් කිහිපයක් කෑ පොළොස් කොට්ටෝරුවා කෑ ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් කලබලය නිසාම බිම වැට්ටවුයේය. ටික මොහොතකින් ඌ වේගයෙන් පියඹා ගියේ ය.

ලොව පුරා නිවර්තන කලාපයන්හි වාසය කරන කොට්ටෝරුවන් අතරින් පොළොස් කොට්ටෝරුවා ඉන්දියුානු උප මහාද්විපයට ආවේණික කුරුල්ලෙකි. ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙයි. දුඹුරු පැහැති කොට බෙල්ලක්, තරමක් ප්‍රමාණයෙන් ලොකු ඔළුවක් සහ දිගින් අඩු පෙදයක් සහිත ය. කහපාට පැල්ලමක් මැද ඇස් පිහිටා තිබේ. හොටය තියුණු ය. ශරීරය කොළ පැහැති ය. කලබලකාරී පක්ෂියෙකි.

පොළොස් කොට්ටෝරුවා වැඩි වශයෙන් ආහාරයට ගන්නේ පළතුරු ය. ජම්බු, ගස්ලබු ගස් ආශි‍්‍රතව සුලබව දැකිය හැකිය. ජම්බු ගස්වල බහුලව දක්නට ලැබෙන බැවින් ජම්බු කොට්ටෝරුවා කියා ද සමහර ප්‍රදේශවල මේ පක්ෂියා හඳුන්වයි. පළතුරු වලට අමතරව පියඹා යන අතරවාරයේ හමුවන කුඩා කෘමි සත්තු ද ආහාරයට ගන්නට පොළොස් කොට්ටෝරුවා මැළි වන්නේ නැත. තියුණු සැතක් වන් හොටයෙන් දිරා ගිය ගස්වල කඳන් හාරා තනාගන්නා බෙනයක ජීවත් වෙයි. පොළොස් කොට්ටෝරුවාගේ ප්‍රජනන සමය ආරම්භ වන්නේ පෙබරවාරි මාසයේ මැද භාගයේදීය. එය ජුලි දක්වා පවතී. පසුගිය කාලයේ වාර්තා වූ අන්දමට එය මැයි සිට සැප්තැම්බර් දක්වා ම දීර්ඝ වූ අවස්ථා ද දැකිය හැකිය. වරකට බිත්තර 2 - 4ත් අතර ප්‍රමාණයක් දමනු ලබයි. පොළොස් කොට්ටෝරු ජෝඩුව මාරුවෙන් මාරුවට බිත්තර රකියි.

කලබලකාරී හා කලහකාරී බව නිසා ම අනෙක් කුරුල්ලන් අතරින් කැපී පෙනෙයි. වන ගහනය සහිත ප්‍රදේශවලට වඩා එළිමහන් ප්‍රදේශවල ජීවත් වෙයි.

කෑම ලෑල්ල දෙසින් ඇසුණු කලබලය දැන් ඇසෙන්නේ නැත. කොණ්ඩ කුරුල්ලන්, දෙමළිච්චන්, හා ලේනූන් සහයෝගයෙන් කෑම කනු පෙනේ. කෙසෙල් ගෙඩි නම් පොළොස් කොට්ටොරුවාගේ තියුණු පහරෙන් කැබැලි වී ගොස් ය.

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

පොළොස් කොට්ටෝරුවා