රාවණා කතාව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙන්නක්. රාවණා විසින් පැහැරගෙන ආ සීතා සොයා රාම, ලක්ෂමණ, හනුමා ඇතුළු පිරිසක් මෙරටට පැමිණි බව ඔබ දන්නවා. හනුමා කියන්නේ රාමගේ වානර හමුදාවේ නායකයායි. මේ ගමනේදී රාම ගේ සොහොයුරු ලක්ෂමණ දැඩි ලෙස රෝගාතුර විමෙන් පසු ඔහුට අවශ්‍ය බෙහෙත් සොයා හනුමා නැවතත් හිමාලයට ගිය බව ජනප්‍රවාදයේ සඳහන්. මා මේ ඔබට කියන්නට යන්නේ, අවසර ගැනීමකින් තොරව හිමාලයේ සැරිසරන්නට ඔබට ලැබෙන අවස්ථාවක් ගැනයි. හිමාලයේ මේ කොටසේ සැරිසරන්නට ඔබට ඉන්දියාවට යෑමට අවශ්‍ය වන්නේ නැහැ. එය දකුණු ලකේ අගනගරයේම පිහිටා තිබෙනවා. ඔබට, මට මේ අගනා වන අඩවිය බැලීමට හැකි වුයේ හනුමාගේ අමතක වීමක් නිසා. ලක්ෂමණට බෙහෙත් සොයා ගිය හනුමාට අවශ්‍ය බෙහෙත් පැලෑටියේ නම අමතක වී තිබෙනවා. ඒ නිසා ඔහු හිමාල කන්දේ කොටසක් ගලවාගෙන ලංකාවට පැමිණියා. බෙහෙත සොයා ගැනිමෙන් පසුව ඒ කඳු කොටස නැවත රැගෙන යද්දී ගිිලිහුණු කොටසක් කියලයි, ජනප්‍රවාද වල “රූමස්සල” ගැන සඳහන් වෙන්නේ. සමහර ජනප්‍රවාද වලට අනුව ඒ බිම් කොටස හනුමා විසින් ම බෙහෙත සොයා ගැනීමෙන් පසුව අතහරින ලද බවත් කියැවෙනවා. කළුනික නම් දුර්ලභ බෙහෙත තමයි රූමස්සල මෙහි ගෙන එන්නට හේතු වුණේ.

ඔබ දන්නවාද රූමස්සල කන්ද නඟිද්දී පිරිමි ඉංගී‍්‍රසි පාඨශාලාව නමින් ඇරැඹි පාසල හමුවෙන බව. මේ පාසල මෙරටට බුද්ධිමතුන් රැසක් බිහිකළ පාසලක්. මහාචාර්ය සෙනරත් පරණවිතාන, සර් ඔලිවර් ගුණතිලක, මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් වගේම මාලදිවයින් ජනාධිපතිව සිටි අබිදුල් ගයුම් පවා අකුරු කර තිබෙන්නේ මේ පාසලේයි. ‘මනස්කාන්ත දර්ශනය’ නම් අරුතින් එය බොනවිස්ටාව ලෙස නම් කොට තිබෙන්නේ පෘතුගීසීන් විසින්.

රූමස්සල කන්ද කෙළවරේම සාම විහාරය පිහිටා තිබෙනවා. මෙහි පිහිටි ජපන් සාම චෛත්‍යයේ සිට කන්ද පහළට තිබෙන පාර අධික ලෙස වල ගොඩැලි සහිතයි. ටිකක් දුර ඇවිදගෙන යද්දී මේ පාර කුඩා අඩිපාරක් බවට පත් වෙනවා. කුඩා ගල්කුළු හා රතු පස් බිම්තීරුවෙන් මේ අඩිපාර අවසන් වෙනවා. එක එල්ලේ ඉහළට එසවෙන රතු කබොක් ගල් කන්ද හා අනෙක් පසින් ගල්තලාව මතට වදින මුහුදු දිය අපූර්ව චමත්කාරයක් මවනවා. කුඩා පර්වත මතින් සුදෝසුදු පෙණ විසුරමින් දියපාර ගලා යන්නේ සොබදහමේ අපුර්වතම සුන්දරත්වය සැමට පසක් කරමින්. දේශිය සංචාරකයන් වගේම විදේශික සංචාරකයනුත් බෙහෙවින් ම පි‍්‍රය කරන ‘ජංගල් බීච්’ පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේමයි. ත්‍රිකුණාමලයේ නම් ජංගල් බීච් යන්නට ඔබට බෙහෙවින් මුදල් අවශ්‍ය වෙනවා. නමුත් රූමස්සල ජංගල් බීච් යන්නට ඔබෙන් මුදල් අය කරන්නේ නැහැ. එය සොබාදහම ඔබට ලබාදුන් තිළිණයක්. රූමස්සල කන්දේ දිය නෑමට ඇති එකම ස්ථානය මෙයයි.

සුමුදු චතුරාණී ජයවර්ධන 

 

Location name: 

හිමාලයෙන් කොටසක් නරඹන්නට යමු ද?