පිහිටීම -

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටයි.

 

ගමන් මාර්ගය -

මාතලේ සිට දඹුල්ල දෙසට දිවෙන ඒ - 9 මාර්ගයේදී නාලන්ද හන්දිය හමුවේ. එම මාර්ගයේ 2ථ පමණ ගිය පසු නාලන්ද ගෙඩිගේ හමුවේ.

 

විශේෂත්වය -

රාවණා යුගය දක්වා දිගු ඉතිහාසයකට නෑකම් කියන මෙරට ශ්‍රී විභූතිය සඟවා ගත් දැනුම් ආකාරයකි.

 

මෙරට බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පය කැපී පෙනෙන ලෙස වර්ධනය වූයේ දෙවන පෑතිස් යුගයේ බුදු දහම පිහිටුවීමෙන් අනතුරුවයි. භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් මුලින්ම බිහි වූ සංඝාරාමවලට ස්ථූපය, බෝධිඝර, උපෝසථාගාර, වටදාගෙය, ගෙඩිගේ යනාදී තවත් ගොඩනැගිලි ගණනාවක් එකතු විය.

ගෙඩිගේ වනාහී අර්ධ ගෝලයක්වන් ගඩොල් වහලයක් මත ඉදි කරන ලද තනි ගඩොලින් හෝ කළුගලින් තැනූ පිළිම ගෙයකි.මෙරට ගෙඩිගේ සම්ප්‍රධායට ඉදි කරන ලද ගොඩනැගිලි අතුරින් නාලන්ද ගෙඩිගේ සුවිශේෂී නිර්මාණයකි.

මේ භූමියට පිවිසුණු විට මුලින්ම හමුවන්නේ තැන් තැන්වල විසිරුණු ගල් කැටයම් සහිත ගල් කැබලි මෙන්ම බිත්ති සඳහා භාවිත කළ ගල් කැබලි රාශියකි. ඒවා එක් ස්ථානයකට ගොඩ ගසා ඇති අතරම කැටයම් සහිත ගල් කුලුනු හිස් නාලන්ද ගෙඩිගෙයට යන මග දෙපස තබා තිබේ.

රාවණා පුරාවෘත්තය දක්වා ඈත අතීතයට දිව යන ඉතිහාසයක් සගවා ගත් නාලන්ද ගෙඩිගේ විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගැනීම සදහා ගොඩනගන ලද්දක් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙසින් සැලකුණු ස්ථානයේ ඉදිකර තිබී පසු කළෙක නාලන්ද ජලාශය ඉදි කිරීමත් සමඟ නාලන්ද ගෙඩිගේ 1980 වසරේදී උස් වේදිකාවක් තනා නැවත ප්‍රතිනිර්මාණය කරනු ලැබ තිබේ. මෙය මහාබලිපුරම්හි පල්ලව සම්ප්‍රධාය ගුරු කොට නිර්මාණය කර ඇත. ඉන්දියාවේ පාලර් නදී මුවදොර පිහිටි මහාබලි පුරමිහි තිබෙන මාමල්ල ‍ශෛලියේ නිර්මාණ සම්පූර්ණ කළු ගලින් නිමවා තිබීමත් වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කොට තිබීමත් විශේෂ ලක්ෂණ යි. ගලින් කළ වහල ශිඛරය විවිධ දෙවි දේවතාවුන්ගේ මෙන්ම සැරසිලිවලින් හැඩගැන්වීම පල්ලව ගෘහ නිර්මාණයේ අනන්‍යතාවයයි.

වහලය හින්දු කෝවිලක හැඩය ගන්නා ලෙස නිමවන ලද මෙම පිළිම ගෙය සම්පූර්ණයෙන් ම කළුගලින් ගොඩනගා ඇත. මේ තුළ ශෛලමය පිළිම තුනක් තැන්පත් කර තිබේ.

බෞද්ධ මෙන්ම හින්දු ඇදහිලි සමමිශි‍්‍රත වූ ථෙරවාදි හා මහායාන ඇදහිලි නිරූපිත ගල් හා දුර්ලභ කැටයමින් මෙය සමන්විත ය.

නාලන්ද ගෙඩිගේ කවරකු අතින් නිමවන ලද්දක් ද යන වගට නිශ්චිත තොරතුරු නැතත් දකුණු ඉන්දියාවේ පල්ලව අභාෂය සහ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත ටැම් ලිපියක් මෙම භූමියෙන් හමු වී ඇත.

නදීකා සංජීවනී රත්නායක

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

ශ්‍රී විභූතිය කැටි කළ නාලන්ද ගෙඩිගේ