පිහිටීම-

බස්නාහිර පළාතේ බොරලැස්ගමුව අත්තිඩියේ පිහිටයි

 

ගමන් මාර්ගය-

බොරලැස්ගමුව හන්දියෙන් දකුණුට හැරී හමුවන 119 (මහරගම-දෙහිවල) මාර්ගයේ පැමිණ බෙල්ලන්තර මාර්ගයෙන් වමට හැරී අත්තිඩිය මාර්ගයේ මීටර් 200 ක් ගිය විට හමු වේ.

 

විශේෂත්වය-

වන සතුන් වෙනුවෙන් ඇති රෝහලකි

 

මෙලොව ඇති උතුම් ම සැපත “නිරෝගී කම” බව බුදු දහමෙන් ඉගැන්වෙයි. මේ සැපත මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද උරුම ය. එහෙත් මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ලෙඩ රෝග සෑදීම සාමාන්‍ය ස්වභාවය යි. අසනීප වූ මිනිසුන් නම් රෝහලකට ගොස් වෛද්‍යවරුන් හමු වී තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනිති. නමුත් සතුන් එසේ ප්‍රතිකාර ලබාගන්නවාදැයි සොයා බැලිය යුත්තේ සත්ත්වයින් පිළිබඳ ගැඹුරු පර්යේෂණයකිනි. කෙසේ වෙතත් අසනීප වූ හා අනතුරුවලට ලක් වූ සතුන් වෙනුවෙන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් පිළිබඳවය මේ කතා බහ දිග හැරෙන්නේ.

මේ වන සත්ත්ව රෝහල පිහිටා තිබෙන්නේ අත්තිඩියේය ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මේ සත්ත්ව රෝහල පවත්වා ගෙන යනු ලබයි. මේ වන විට විවිධ සත්තු 34 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී. ඒ අතර ක්ෂීරපායින්, උරගයන්, පක්ෂීන්, උභය ජීවීන් වෙයි. නම් වශයෙන් දැක්වුවහොත් මුවා, පැස්තුඩුවා, වල් ඌරා, මුගටියා, පරවියා, උකුස්සෝ වර්ග, රිලවා, වඳුරා, කැස්බෑවා, වටුවා සහ උරග විශේෂ ප්‍රතිකාර ලබනා සත්වයෝ ය.

ඔවුහු නොයෙක් උවදුරුවලට හා අනතුරු වලට භාජනය වූවෝය. මේ සතුන් ඇතැම් විට කිසිවකු හෝ රැගෙන ආ අය ය. ඇතැම් සතුන් දුරකථනය මගින් දැනුම් දුන් අය ය. අනතුරුට ලක් වු සතුන් පිළිබඳව විස්තර පවසා සිටීමෙන් මෙහි නිලධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් එම රෝගී වූ සත්ත්වයා රැගෙන එයි. ඌට අවශ්‍ය ප්‍රතිකාර මෙහිදී ලබා දෙයි. නිසි කලට වේලාවට ප්‍රතිකාර හා ආහාර ලබා සුවපත් වන සත්ත්වයා නැවත නිදහස් භූමිය වෙත මුදා හැරේ.

ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තුමේන්තුව යටතේ ඇති සත්ත්ව රෝහල් කිහිපයකි. අත්තිඩියේ ඇත්තේ ඉන් එක් රෝහලකි. මේ වන සත්ත්ව රෝහල මඟින් ඔබ වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් ද දියත් කෙරේ. සතුන් පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන ඔබට, පාසල්

ළමයින්ට, විශේෂ අධ්‍යාපන ආයතනවලින් පැමිණෙන සිසුන්ට එම දැනුම ලබා දීමට මෙහි නිලධාරීන් ඔබ වෙනුවෙන් සූදානම්ව හිදිති.

අනතුරකට හෝ රෝගී තත්ත්වයෙන් පසුවන ඕනෑම සත්ත්වයෙකු ඔබට හමුවුව හොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අත්තිඩිය වන සත්ත්ව රෝහල වෙත දැනුම් දිය හැකිය. නැත්නම් රැගෙන විත් භාර දිය හැකිය. සතුන්ටි ආදරය, කරුණාව දැක්වීම මහත් වූ පුණ්‍ය ක්‍රියාවක් බව ඔබ දැනටමත් නොදන්නවා නොවේ. එසේ හෙයින් ලැබුණු අවස්ථාව ඔබ මඟ නොහරිනු ඇතැයි ද අප අපේක්ෂා කරමු. තවද වන සතුන්ගේ පැවැත්ම වෙනුවෙන් ආහාර පාන ආදිය මෙන්ම, සතුන් රඳවා තැබීමට උචිත කූඩු යනාදිය ද මේ ස්ථානයට ලබාදීමට ඔබටත් දායක විය හැකිය.

වැඩි විස්තර හා දැනුම් දිය යුතු දුරකථන අංකය (0113604147)

 

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

අත්තිඩිය වන සත්ත්ව රෝහල