Colombo By Jeep එක්ක කුරුල්ලන් බලන්න යමු

 

පිහිටීම -

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, දෙහිවල, කැස්බෑව යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාස 3ටම අයත්ව පිහිටා ඇත.

 

ගමන් මාර්ගය -

කොහුවල, ඇන්ඩර්සන් පාර, විජයමංගලාරාම පාර, බෙල්ලන්තර හන්දිය, කැඳ කඩේ පසුකර පාලමත් සමඟ වමට ඇති ඇල මාර්ගය

 

විශේෂත්වය -

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර් 372 භූමි ප්‍රමාණයකින් යුතු අභය භූමියකි.

 

අපි අද සුදානම් වෙන්නේ හරි අපූරු විනෝද සවාරියකට ඔබ කැටුව යන්නයි. ඔබ දැනටමත් දන්නේ කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයක් කියලා බව අපිත් දන්නවා. ඒත්, ඔබට පුදුමත් හිතේවි. කොළඹ ප්‍රදේශය ඔබ හිතුවාටත් වඩා වෙනස්. හරිම වෙනස්. කොළඹ හරි අපූරු විතරක් නෙවෙයි. හරිම ලස්සන, ස්වභාවික තැන් 22 කටත් වැඩියෙන් තියෙනවා. ඔබට ‘Colombo By Jeep’ එක්ක එකතු වුණොත් ඔබ නොදුටු කොළඹ ලස්සන තැන් ඉතා හොඳින් දැක බලා ගන්නත්, හරි අපූරු විමෝද සවාරියක් යන්නත් පුළුවන්. ‘Colombo By Jeep’ සංචාරයේ හිමිකරුවා නිශාන්ත අබේසේකර. ඔබ කැටුව යන ජීප් යුද්ද කාලේ ඒවා. යුද්ධ කාලේ කියන්නේ ලෝක යුද්ද කාලේ යුද්ධ කළ ජීප්වලින් තමයි ඔබගේ සංචාරය සිදු වන්නේ.

‘Colombo By Jeep සංචාරකයෝ ළඟ ලෝක යුද්ධ කාලේ භාවිත කළ ජිප් රථ කිහිපයක්ම ම තිබෙනවා.USA 20737160 කියන්නේ 1942 දී ඇමෙරිකානු යුද හමුදාව වෙනුවෙන් ෆෝඩ් සහ වීල්ස් කියන සමාගම එකතුවෙලා හදපු ජීප් රථය.ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ව පරාජය කරන්න පෙරමුණට යොදාගෙන තියෙන්නේ මේ ෆෝඩ් විල්ස් වර්ගයේ ජීප් රථයක්.

තව ජිප් රථයක් තියෙනවා ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ එංගලන්තයේ. මේක ලෝකයේ පළමුවරට නිෂ්පාදනය කළ ලෑන්ඩ් රෝවර් වලින් එකක්. LAND ROVER SERIES IEARLY VERSION කියන කාණ්ඩයට තමයි ඒක අයිති වෙන්නේ මේ ජීප් එක හරිම විශේෂයි. මොහොතකින් මේසයක් කර ගන්නත් පුළුවන්. ඉස්සරහා ලයිට් දෙක තියෙන්නේ යකඩ දැලෙන් ඇතුළට වෙන්න. මේ ලයිට් දෙක ආවරණය කරන ෂෙල් එකෙන් BBQ  සුදානම් කර ගන්නත් පුළුවන්.ජීප් එකේ ඉදිරිය බදුන් තියලා තමුන්ට අවශ්‍ය කළමනා තියලා පොඩි පාටියකට වුණත් ලැස්ති කර ගන්න පුළුවන්.

තව ජීප් එකක් තියෙනවා වීල්ස් වර්ගයේ MB කාණ්ඩයට අයත් එකක්. මේකත් යුද්ධ කාලේ සතුරු ප්‍රහාරකවලට යොදා ගත් එකක්.

ඛ්බ්5 මිලටරි වර්ෂන් එකට අයිති 1948 - 1949 නිෂ්පාදනය කරලා තියෙන එකතුත් තියෙනවා.

තව ජීප් එකක් තියෙනවා ඒක හරිම ප්‍රසිද්ධ වෙච්ච එකක්. චක්නොරිස් කියන ලෝක ප්‍රකට නළුවා එයාගේ ප්‍රසිද්ධ වුණුු චිත්‍රපට කිහිපයකටම මේක පාවිච්චි කරලා තියෙනවා.

ජිප් ටික දැක්ක ගමන් ඔබටත් හිතේවි හරි අපුරු සංචාරයක් වගේම විනෝදයකුත් ලබන්න පුළුවන් කියලා.

ඔන්න අපි ඔබ වෙනුවෙන්ම පසුගිය දිනෙක හිමිදිරියේ අත්තිඩියේ කුරුල්ලන්ගේ නිදහස් ලෝකය “කුරුලු අභ්‍ය භූමිය” බලන්න නිශාන්තත් එක්ක 1942 නිෂ්පාදිත CL 3582 20737626 වර්ගයේ ජීප් රථයකට ගොඩවුණා. මේ හිමිදිරිය හරිම පිවිතුරුයි. සැහැල්ලුයි. ස්වභාවික පරිසරයේ සියුම් මිහිරි ශබ්ද විතරක් දෙසවනට ඇසෙන්නට පටන් ගත්තා. ඔච්චර වෙලා නිසොල්මනේ හිටි ගෙම්බෙකු දෙන්නෙකු ඉඳලා හිටලා වේරැස් ගඟේ ජල තලයට ‘ජබොක්’ හඬින් පනින එකත් මිහිරක්.

එක පැත්තකින් වතුර පිරුණු ඇළ. තව පැත්තකින් ගණව වැඩුණු ගස් පඳුරු. මේවා අස්සෙන් අස්සෙන් තමයි අපේ ගමන. මේ නම් කුරුල්ලන්ගේ නිදහස් ලෝකයම තමා. උන් උන්ට රිසි රිසි සේ ගී ගයන්නත්, පී‍්‍රතියෙන් එහෙ මෙහෙ ඉඟිළෙන්නත් පටන් අරගෙන. ඒත්, හිටි හැටියෙම උන් අපේ ජීප් රථයේ රෝද සද්දෙට වහා පියඹා යන්නට නම් අමතක කළේ නෑ.

ඔබටත් වාහන පදවන්න පුළුවන් නම්, මේ ජීප් රථය පදවාගෙන යා හැකියි. ඒ වගේම සෑම ඉරු දිනකම දේශීය සංචාරකයන් නොමිලේ සවාරියක් රැගෙන යන්නත් මේ Colombo By Jeep සංචාරකයෝ තමන්ගේ කාලයෙන් ඉඩක් වෙන් කරලා තියෙනවා.

’අලුත් දවසක් එළඹුණා. දරුවන්ට ආහාර සොයා යා යුතුයි.”

කුරුලු මා පියන් හිමිදිරියේ නැවුම් සිතුවිලි සමඟ දවස ගත කරන අයුරු සැලසුම් කරනවා ඇත. ඇතැම් දරුවෝ කල් යල් බලා දොරට වඩිනා මංගල්‍යයන් ද අරඹනු ඇත. දරුවන්ට පුළුල් වුද විසල් වුද ලෝකය ගැන ඉගැන්විය යුතුය. අහර සොයා යන හැටි, විලෝපීයයන්ගෙන් ආරක්ෂා වෙන හැටි ඒ අතරින් ප්‍රමුඛ යි.

 

මේ හිමිදිරිය ඔවුන්ට බොහෝ දේ ලබා දෙනු ඇත. බොහෝ දේ පසක් කර දෙනු ඇත. කුරුලු සමූහයා ද එක්ව ගයන්නේ එකී ජීවිත ගෙත්තම නොවේද? එක් අයෙකු එක් පසෙක සිට ගයනා ගීයට පිළිතුරු ගීය තවත් අයෙක් තවත් තැනෙක සිට ගයනවා ඇසේ. එකම හඬින්. වරෙක එය වේගවත් ය. වරෙක එය වෙනස් රටාවකට ය. මේ උන්ගේ ලෝකය යි. මේ උන් කැදලි තනමින් තමන්ගේ වර්ගයා බෝ කරමින් ගයනා ජීවිත ගෙත්තමයි.

 

මේ අභය භූමිය නොගැඹුරු මිරිදිය තෙත් බිමක්. පොකුණු, වගුරු හා විහිරුණු පඳුරු විශේෂයන්ගෙන් හා කුඩා ගස් වර්ගයන්ගෙන් හා ජලයෙන් යට වූ තෘණ බිමින් සමන්විත යි. අතීතයේ එකම වෙල් යායක් ලෙසින් දිස් වූ මේ භූමිය බොල්ගොඩ ගඟ, වේරස් ගඟ හා කටු ඇළ යන ජලාශයන්ගෙන් ඒකාද්මික වී පවතිනවා. ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත්. සංචාරක පක්ෂීන් රැසකගේ නිවෙස්නය වන මෙහි අනූව දශකයේදී පක්ෂි විශේෂ 168කට. අධික සංඛ්‍යාවක් වාසය කරලා. සමනලුන් විශේෂ 70ක් පමණ ද ලංකාවට පමණක් ආවේණික පෘෂ්ඨ වංශීන් විශේෂ 15 ක් හමු වී ඇත.

කුරුලු වර්ග අතරින් රත් යටිමල් කිරලා, කළු පිය ඉපල්පාවා, ළය සුදු කොරවක්කා, දම් මැදි කිතලා, පොදු ගැලිනුවා, කළු මැටි කොකා, පුංචි ගෙඹ තුඩුවා, සුදු මැදි කොකා, බොර සිඹිරිත්තා, කහ කුරුල්ලා, නිල් මහ ගොයා, සරල පිණියා, බැම සුදු කොණ්ඩයා, ගෙල සුදු මැදි පිළිහුඩුවා, කොබොයියා, බට්ටිච්චා, දෙමලිච්චා, කොට්ටෝරුවා, පොළොස් කොට්ටෝරුවා, කොහා කපුටා යන අය සේම ගිරා මලිත්තා, හීන් කෝට්ටෝරුවා, හිස දුඹුරු දෙමලිච්චා යන ආවේණික අය ද ඔබට මෙහිදී දැක ගන්න පුළුවන්.

එසේම බත් කූරන් ඇතුළු කූරන් වර්ග ද තලගොයා, කබරගොයා, දියබල්ලා, ඉබ්බා සහ නොයෙක් මත්ස්‍යයෝ ද ජලජ ශාක හා ඖෂධ වර්ග රැසක් ද දැක ගත හැකියි. වදවීමේ තර්ජනයට ලක්ව ඇති වෙල්මිදිල්ල හා ගොනිකා ශාඛ ද මෙහි වෙයි. ආක්‍රමණික ශාක අතර ජපන් ජබර, වෙල් ආත, සැල්වීනියා ද අඩුවක් නෑ.

වර්ෂ 1977 පසුව කාගේත් අවධානයට පාත්‍රා වූ මේ භූමිය වගුරු බිම් ගොඩ කිරිම් හේතුවෙන් ජෛව විවිධත්වය තර්ජනයට ලක්වීම සිදුවෙලා. එසේ හෙයින් මෙය රැක ගැනීම ද වහ වහා කළ යුතුම යි.

කෙසේ වෙතත් නාගරිකරණයට ලක්වී යැයි පවසන බස්නාහිර පළාතේ මෙවන් අති සොබා සෞන්දර්යයෙන් අනූන අභය භූමියක් නෙත ගැටීම අරුමයක් ම නොවේද? මේ සෞන්දර්යය නොවලහා විඳ ගැනීමටත් කුරුල්ලන් නැරැඹීම පි‍්‍රය කරන ඔබට අපූරු ජීප් රථයක නැගී එකී අද්දැකීම රිසි සේ ලබා ගන්නත් පුළුවන්.

ඔබ කුරුල්ලන් නැරැඹීම දැනටමත් විනෝදාංශයක් ලෙස කරගෙන යන්නෙකු නම් ඔබ හොඳින්ම දන්නා කාරණාව නම් හිමිදිරියෙන්ම එකී කාර්යය සඳහා පිටත්ව යාමෙන් ඔබට බොහෝ කුරුල්ලන් නැරැඹීමේ අවස්ථාව මෙන්ම සොබා දහමේ අපුරු සංසිද්ධි ද නෙත ගැටීමට ඉඩ ලැබෙයි. ඔබේ සංචාරයන් වඩාත් ක්‍රමවත්ව සිදු කර ගැනීමට නම් පහත දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ඔබට උපකාර වනු නියත ය.

නිශාන්ත අබේසේකර -

0777 330900 / 077 403000

web - www.colombobyjeep.com
email - [email protected]
FB- colombo by Jeep

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Colombo By Jeep