මේ නටබුන් භූමියකි. වෙහෙරෙ කන්දේ පිහිටි බැවින් “ වෙහෙර කන්ද නටබුන්” යැයි ව්‍යවහාර කෙරේ. මෙය පිටකෝට්ටේ නගර සීමාවෙන් පිට බැද්දගානේ පිහිටයි. පිටකෝට්ටේ හන්දියේ සිට වෙහෙර කන්ද හන්දියේ කිලෝ මීටර් 05 ක් පමණ ගිය විට මේ ස්ථානයට ළගා විය හැකියි. ඉතා නිස්කලංක භුමියක් වන මෙහි උස් වේදිකාවක් මත තැනූ ස්ථූප 02 ක් දක්නට ලැබේ.

1949 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් මෙම ස්ථානයේ සිදුකොට ඇති පර්යේෂණ කැණීමෙන් අඩි 97ය58ය52/1 ප්‍රමාණයේ සෘජුකෝණාශ්‍රාකාර හැඩයට බදින ලද විශාල වේදිකාවක් මත කොටවෙහෙර ස්වරූපයේ ප්‍රමාණයත් එකිනෙකට වෙනස් මෙම ස්තූප දෙක හමු වී ඇත.

කබොක් ගලින් ඉදිකරන ලද විශාල ස්තූපයේ විශ්කම්භය අඩි 30 ක් ද, කුඩා ස්තූපයේ විශ්කම්භය අඩි 24 ක් ද වේ. මෙම ස්තූප පේසාවන් තුනක් සහිතව ඉදි කර ඇති අතර උතුරින් හා බටහිරෙන් වේදිකාවට ප්‍රවේශවීම සඳහා කබොක් ගලින් තැනූ පියගැට පෙළ දෙකක් වේ.

මෙම ස්තූපය මහා පරාක්‍රමබාහුගේ හා ඔහුගේ බිසව වු රන් මැණිකා බිසවගේ සොහොන් කොත් විය හැකි බව ආචාර්ය සෙනරත් පරනවිතාන මහතාගේ අදහස වේ. ඇතැමෙක් මෙවා කතරගම දෙවියන් උදෙසා ඉදිකරන ලද දේවාලයක නටබුන් ලෙසත් හදුන්වයි. මෙම භූමිය 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා තහනම් ඉඩමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

 

Location name: 

වෙහෙර කන්දේ නටබුන්