අනුරපුර සැඟවුණු ලෙන් සංකීර්ණය වෙස්සගිරිය

 

මේ දිනවල අනුරාධපුර නගරය ගිනිගෙන දැවෙන්නේය. බොහෝ කාලයකින් වැසි නොවැටුණු බැවින් බොහෝ වැව් සිඳී ගොස්ය. එත් කාෂ්ටක ගිනියම් බව නොතකා බොහෝ බැතිමත් ජනී ජනයාගේ අනුරාධපුර නගරය පිරි ඉතීරි ගොස්ය. ජය ශ්‍රී මහා බෝධියටත්, රුවන්වැලි මහා සෑයටත් වන්දනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ හිඟායක් නම් නැත.

දැඩි දාහය නොතකා අටමස්ථාන වන්දනයේ යන ජනතාවගේ අවධානයෙන් ඉසුරුමුණි විහාරය නම් ගිලිහෙන්නේ නැත. එහෙත් මා ඔබට මේ කියන්නට යන්නේ ඉසුරුමුණිය අවටම පිහිටියත් වැව් සංචාරක ආකර්ෂණයක් දිනා නොගත් අපුරු ලෙන් සංකීර්ණයක් ගැනයි.

අනුරාධපුරය කියන්නෙම ශේෂ වී ගිය නටබුන් සහිත රාජධානියක්. මේ රාජධානියේ ඇති කෞතුක පුරාවිද්‍යාත්මක වටිනාකම ගණනය කරන්නට බැහැ. සමහර නටබුන් තවම හමු වී හෝ නැහැ. වෙස්සගිරිය ලෙන් සංකීර්ණය පිහිටා තිබෙන්නේ ඉසුරුමුණි විහාරයට දකුණු දෙසට වන්නටයි. ක්‍රි.පූ. තුන්වැනි සියවසේ පමණ සිට ලෙන් ආරාම සංකීර්ණයක් අනුරාධපුර අටමස්ථානය අවටම පැවැතියෙන් එය සංචාරකයන්ගේ වැඩි අවධානයට ලක් වී නැහැ. බෝහෝ අය අනුරාධපුරය බලා යන්නේ වන්දනාමාන කිරීමේ අදහසින්මයි. ඒත්, අපේ පැරැණි ඓතිහාසික දේ වගේම පාරිසරික වෙනස්කමුත් සොයා යන්නට මිහිතුරු අපි සැමවිටම සුදානම්.

වෙස්සගිරිය අක්කර විස්සක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙනවා. මෙහි පර්වත තුනකින් සෑදුණු ගල්ගුහා විසිහයක් පමණ දක්නට ලැබෙනවා. මහා වංශයේ සඳහන් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මය අසා පැවිදි වූ අරිට්ඨ කුමරු ඇතුළු පන්සියක් භික්ෂුන් වහන්සේලා එකල මෙහි වාසය කළ බවක්. මෙතරම් සුප්‍රද්ධ වටිනාකමකින් යුත් ප්‍රදේශයක් සංචාරක අවධානය දිනා නොගැනීම පුදුමයක්.

වෙස්සගිරියේ පිහිටීම විශේෂිතයි. ගල් ගුහාවලට ඉහළින් වැටෙන වැසි ජලය ගුහාව ඇතුළට නොයා පහළ තනා ඇති කටාරම්වලට වැටෙන්නට සැලැස්වීමත්, ඊට අමතරව වැටෙන ජලය ගලා යෑම සඳහා ගලේම කානු සකස් කර තිබීමත් විශේෂයක්. එහි මැද පිහිටි පර්වතයේ ප්‍රධාන ගල් කුළු දෙකම රදා පවතින්නේ, පහළින් ඇති කුඩා ගල් කැබලි කිහිපයක ආධාරයෙන් පමණයි. ඒ ගල්කුළු දෙකට වම්පසින් ඇති කුඩා ගුහාවක වහල ලෙස ඇත්තේ, කුඩා තැන් තුනකින් පමණක් රඳවා ඇති විශාල සෘජුකෝණාස්‍ර ගලක් පමණයි. මේවා ස්වභාවික පිහිටිම්ි, මේ විස්මය ජනක පිහිටීම බලන්න නම් ඔබ අනිවාර්යයෙන් වෙස්සගිරියට යා යුතුමයි. ගලෙන්ම කොටන ලද පියගැටපෙළවල් වගේම සඳකඩපහනක් ද මෙහි දක්නට ලැබෙනවා. මෙවැනි අතිරමණීය, විස්මයජනක තැනක් අනුරාධපුර නගරයේ තිබෙනවා කියලා බොහෝ අය දන්නේ නැහැ.

බොහෝ විට මේ ප්‍රදේශය නැරැඹීමට එන දේශීය සංචාරකයන් පවා මෙහි වටිනාකම දන්නේ නැහැ. එකල පැවිදි දිවියට පිළිපන් දහස් ගණන් සංචාරක ස්වාමීන් වහන්සේලාට ආරාම ඉඳිකිරීමේ වගකීම පැවරුණේ දේවානම්පියතිස්ස රජතුමාටයි. එබැවින් මෙවැනි ස්වාභාවික පිහිටීම ගැන රාජ්‍ය තාන්ත්‍රිකයන් සිටියේ සෙවිල්ලෙන්, මේවා නිසි පරිදි පිළිසකර කර භික්ෂූන්ගේ වාසය සඳහා එකල ලබා දුන්නා. වෙස්සගිරිය ඒ පිළිගැන්වුණු ලෙන් ආරාම අතරින් පැරැණිම ආරාමයයි.

සාමාන්‍ය සංචා රකයන්ගෙන් මඟ හැරුණත් නිර්මාණකරුවන් ගෙන් නම් වෙස්සගිරිය සැඟවී නැති බවක් පෙනී යනවා. වර්තමානයේ තිරගත වුණු ජනපි‍්‍රය චිත්‍රපට හා ටෙලි නිර්මාණ රැසක් රූප ගත කර ඇත්තේ වෙස්සගිරිය අවටයි. ඉතින් මේ පැරැණි ලෙන් සංකීර්ණය නරඹන්නට ගියහොත් ඔබට ඒ සිනමාපට වගේම ටෙලි නාට්‍යයත් මතකයට නැගෙන බව විශ්වාසයි.

මේ ලෙන් සංකීර්ණය අවට පරිසරයත් හරිම නිස්කලංක හා පෞඩ පරිසයක්, ඇත්තෙන්ම මේ නිස්කලංක බවට බාධා පැමිණෙන්නේ රිලවුන් වැනි පරිසරයේම කොටස් වලින් පමණයි. දැඩි නිහඬබව මේ භූමියට ආභරණයක්. එදා භික්ෂුන් වහන්සේලා නිහඬ, සුන්දර මේ පරිසරයේ ඉඳගෙන නිවන්මඟ සාකෂාත් කරගන්නට වෙර දරන්නට ඇති. අවට පරිසරය නම් උන්වහන්සේලාට ආශිර්වාදයක් විනා කිසිදු කරදරයක් ඇති නොකරන්නට ඇති. පැරැණි වෘක්ෂලතා, කදේ සිටම එල්ලා වැටෙන මුල් සමඟ දැවැන්ත ගස් මේ භූමියේ පෞරාණික බව තව තවත් ඔප් නංවනවා. බරණ, ගහපති, පරුමක ආදී නම්වලින් හැදින් වු ප්‍රභූන් විසින් මේ ගල්ලෙන් පිළිසකර කළ බැව් ඒ ගුහා ඉදිරිපිට කොටා තිබෙන සෙල්ලිපිවලින් තහවුරු වෙන බව ඉතිහාසඥයන් පවසනවා.

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

වෙස්සගිරිය