දකුණු හා නැගෙනහිර දෙසින් මහවැලි නිම්නයෙන් ද බටහිරින් මාතලේ නිම්නයෙන් ද හුදකලා වූ මේ ශිඛර තොමෝ සියල්ලන්ගෙන් ම සැඟවෙන්නට උත්සාහ කරන්නාක් මෙන් නිරන්තර ගන මීදුම් සේලයට මුවාවී සිටිති. නීල, හරිත, රන්වන් සහ දුඹුරු පැහැයන්ගෙන් වර්ණවත්ව එකිනෙකට යාව පැතිර පවත්නා මේ කඳුපන්ති තොමෝ ශිඛර කීපයකින් ම සමන්විත වෙයි. ඒ අතරින් ගොම්බානිය, නකල්ස්, කිරිගල්පොත්ත, දුම්බානගල, කළුපහන, වමාරපුගල, දෝතළුගල, පතනගල, තෙලබුගල හා ලකේගල සුපතල ය. මේ ප්‍රදේශයටම ආවේණික වූ දැකුම්කලු සොබා සෞන්දර්යය, පුළුල් දර්ශන පථයට හසුවන්නා වූ මනස්කාන්ත සුන්දරත්වය මෙන් ම මේ මිටියාවතේ කඳු නිම්න අතරින් ඇදී යන්නා වූ සුනිමල ජල ධාරාවෝ ද එහි යනෙන අයගේ නෙත් සිත් සොරාගන්නට සමත් වෙයි.

නිරන්තරව ගන මීදුමින් වැසී ඇති නිසා දුම්බර යන නාමය පටබැඳී මේ කඳු පන්තිය විදේශිකයන් ට නම් නකල්ස් නම් විය. ඒ මානව හස්තයක් මිට මෙලවූ කල් හි ඇඟිලි පුරුක් දක්නට ලැබෙන ආකාරයෙන් මේ කඳුවැටියේ ශිඛර 5ක් දෘශ්‍යමාන වූ නිසාය. බටහිර බෑවුමෙ හි අධික ලෙස බට වර්ගයන්ගෙන් ගහන වූ බිම් ඇති නිසා ඇතැම්හු මෙය “බටදඬු කන්ද” නමින් ද හඳුන්වනු ලබති.

ගිනිකොන දිශාවේ සිට වයඹ දිශාවට හුන්නස්ගිරිය සිට ලග්ගල දක්වා සැතපුම් 18ක් පමණ දිගින් යුතු මේ කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශය හෙක්ටයාර 30,000 ක් පමණ වන බව කියැවේ. නකල්ස්, තෙත් හා වියළි කලාපයට මායිම්ව පිහිටා තිබීම හේතුකොටගෙන වනාන්තරය තුළ පුළුල් කාලගුණික පරාසයක් දැකිය හැකි අතර, කඳුවැටියේ නැගෙනහිර පෙදෙසේ වියළි කාලගුණයක් ද නිරිතදිග බෑවුමේ අතිශය තෙත් කාලගුණයක් ද දැකිය හැකිය. එකිනෙකා පරයමින් නැගී සිටින්නා වූ මෙහි ශිඛරයන් මීටර 1900 ක් (අඩි 6000) පමණ උසකට විහිදෙයි. නිරිත හා ඊසාන දිග මෝසම්වල වර්ෂාපතනයන්ගෙන් පෝෂණය වන හෙයින් මහවැලි ජලපෝෂක ප්‍රදේශයක් ලෙසින් ද ඉතා වැදගත් තැනක් ගනියි.

දුම්බරට පිවිසුම් මං කිහිපයකි. එකක් මහනුවර, මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය හන්දියෙන් මල්වත්ත හරහා හැරී මීමුරේ ඔස්සේ ද තවත් පසෙකින් කොළඹ, මාතලේ, රත්තොට හරහා ඉලුක්කුඹුර මාර්ගයෙන් ද කොළඹ - නුවර මාර්ගයේ තෙල්දෙණිය, රන්ගල බඹරැල්ල ඔස්සේ ද මෙහි පිවිසිය හැකිය. ඡායාරූ සිත්රෙකුට නම්, කැමරා ඇසෙහි සටහන් කරගන්නට සොඳුරු දසුන් බොහෝමයකි. කවියෙකුට, තෙලිතුඩින් සිත්තම් කරන්නට ඇවැසි වූ මනස්කාන්ත දසුන් මෙහි සුලබ ය. පාරිසරික විද්වතුන්ට නම් මෙහි අධ්‍යයනය කරන්නට දෑ බොහෝමයකි. සුවිශේෂී වූ ශාක හා සත්ත්ව විවිධත්වයකින් සමන්විත මේ භූමිය සොබාදහමින් අපට දායාද වූ මිහිපිට සුරලොවකි. මිහිලිය තුරුමල් දමින් සුසැදි නෙක රටා මවන්නට සමත් වන්නේ, සුනිල දිය දහරින් ද නිකලැල් වන පියසින් ද මේ මිටියාවතේ කිසිදු අඩුවක් නැති නිසාය. තව ද දුම්බර වේවැල්, මා වේවැල් හා තම්බොටු වැල් ආදී වූ වැල්වර්ගවලින් ද ගහන වු පෙදෙසෙකි.

වනයේ සුන්දරත්වය වැඩි කරවමින් කඩා හැලෙන දියදහරා සහ ගංගා දෙපස පැතිර පවත්නා ගංගා ද්‍රෝණි වන තීරයන් ද තෙත් හා වියළි තෘණ බිම් ද නකල්ස් වන පෙතේ පාරිසරික වටිනාකම් මොනවට විදහා පායි. මෙහි නැගෙනහිරින් උපත ලබන හීන් ගඟ, මීමුරේ ඔය, කයිකාවල ඔය සහ මහ ඔය ද උතුරු ප්‍රදේශයේ පිහිටි කළු ගඟ ද අවසන මහවැලි ගං කොමලිය වෙත එක්ව අත්වැල් බැඳ ගනී.

උඩවැඩියා, වන රාජ, කඳුලැස්ස, බිනර , බෝවිටියා ආදී මල්වර්ග ද මීවන ද මෙහි දුලබ නොවෙත්. දිවියා, ගෝනා, වැලි මුවා, කොළ දිවියා, වල් ඌරා වැනියවුන් ද ශ්‍රී ලංකාවට ආවේණික වු රිලවුන්, කොළ වඳුරන් ආදීන් ද දඬු ලේන්නු ද මෙය තම නිවස්න කොටගෙන වෙසෙති. මේ ඉසව්ව පුරා තැනින් තැන රැඳී ඇති දියසීරාවෙන් පෝෂණය ලබන දියකඩිති අසල ඇතැම් විටෙක විමසිල්ලෙන් බැලූ කල් හි දියබල්ලන් ද දැකිය හැකිය.

දුම්බර මිටියාවතෙහි වෙසෙන්නා වූ ගැමියෝ ඔවුන්ට ම ආවේණික වූ කෘෂිකාර්මික රටාවකට හා ජීවන රටාවකට හැඩ ගැසුණෝ වෙති. ඔවුහු අව්‍යාජ ය. අහිංසක ය. නගරයෙන් ඈත්ව සිටීම කරණ කොටගෙන ඔවුහු තම සම්ප්‍රදාය, චාරිත්‍ර වාරිත්‍ර නොවෙනස්ව තම මතු පරපුරට දායාද කරන්නට සමත්ව සිටිති. පොල් අතු සෙවිලි කළ පියෙසිවලින් සහ ධාන්‍ය භවබෝග ගබඩා කිරීමට ඇවැසි ගෘහයන්ගෙන් ද යුත් සරල දිවි පැවැත්මක් ගෙවන්නා වූ මේ ගැමියෝ හේන් ගොවිතැනින් දිවි ගෙවන්නෝ වෙති. දුම්බර වන පෙත ඔවුන්ට අවැසි ඔසු, කිතුල් හකුරු සහ කිතුල් රා වැනි දෑ සපයා දෙන්නට සමත් වෙයි.

කඳුවැටියේ නැගෙනහිර බෑවුමට වෙන්නට කළුවර, බුරුත, මිල්ල වැනි වටිනා ශාකයන් දැකිය හැකිය. අතුපතර සැඟවී ගත් පක්ෂි සමූහයා මෙහි චමත්කාරය තවත් වැඩි කරන්නට සමත්ය. ඔවුන් අතර ලංකා රන් නළල් කොට්ටෝරුවා, හිස දුඹුරු දෙමලිච්චා, ගිරා මලිත්තා, ලංකා සැලළිහිණියා, කඳුකර වී කුරුල්ලා ආදී පක්ෂීන් ද දැකිය හැකිය.

ටෙක්ලා චාන්දනී

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත