අනුහස් බෝ සෙවණේ සිසිල ලබන කෝට්ටේ රජමහා විහාරය

 

ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකෙන කෝට්ටේ රාජධානිය, සවැනි පරාක්‍රමබාහු රජු විසින් පාලනය කළ සිරිලක ප්‍රධාන අග නගරයක් විය. සාහිත්‍යමය වශයෙන් ද ඉතා දිදුලන යුගයක් වූ කෝට්ටේ රාජධානි යුගය ශ්‍රේෂ්ඨ නරපතියන්ගේ පා පහස ලද උත්තරීතර බිම්කඩක් විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නමින් වත්මනයෙහි පවා මහත් අභිමානයක් උසුලන මෙනුවර අතීත වංශ කතාවක ශ්‍රී විභූතිය තවමත් ශේෂව දක්නට ලැබේ. ඒ අතීත වංශ කතාව තුළ අදත් නොමැකෙන ලෙස ස්ථාවරව පිහිටා ඇති කෝට්ටේ රාජමහා විහාරය එකල තිබූ ප්‍රභාමත් ආගමික වෙහෙර විහාර පුනරුදයක තරම කියාපායි.

14 වැනි සියවසේ දී මෙම විහාරස්ථානය ඉදි වූ බවට සාක්ෂි ඇත. විසිවෙනි ශ්‍රී පරාක්‍රමබාහු රජු විසින් විහාරස්ථානයට ඇප උපස්ථාන කළ දායක දායිකාදීන්ට ඉඩකඩම් පරිත්‍යාග කර තිබූ බවද පෙනී යයි. එහෙත් පෘතුගීසි ප්‍රහාරයන්ට හා බලයට අවනත කර ගැනීමෙන් පසු එම ජනතාව එම බිම්වලින් පන්නා දැමූ බවක් ඉතිහාසය කියයි. දෝන් ජුවාන් ධර්මපාල රජු විසින් කතෝලික ආගම වැලඳ ගැනීමෙන් පසු මෙම විහාරස්ථානය සතු ඉඩම් ක්‍රිස්තියානීන්ගේ ආදායම් බවට පත් කර පවරා දෙන ලදී. කෝට්ටේ යුගය වනවිට එම රාජධානිය තුළ වෙහෙර විහාරවලට වඩා හින්දු දේවාල තනවා තිබූ බව පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධකවලින් හෙළි වෙයි. ඒ යුගය වනවිට මේ විහාරයෙහි දේවාල ඉදිකර තිබුණේ පත්තිනි දෙවියන් නමින් පමණය. මේ පුරාණ විහාරය ද, චෛත්‍යද, ඉතා ශෝභමාන අන්දමින් දක්නට ලැබේ. දේවාලවලින් කිහිපයක් ද විහාරාංග ද වර්තමානයෙහි ප්‍රතිසංස්කරණයට භාජනය වී ඇත. ඒ හැර සීමා මාලකයක්, දාන ශාලාව, ලැගුම් ගෙවල් , ධාතු මන්දිරය, ධර්මශාලාව, දායක සභා කාර්යාලය, වාහල් දොරටුව වැනි නවීන අංග රාශියක් අද වනවිට දක්නට ලැබේ. කෝට්ටේ රාජමහා විහාරයේ හා බෝධීන් වහන්සේ ඉතා අනුහස් බව කියැවේ. අදත් බොහෝ දෙනා ඊට බාර හාර වී පිහිට ලබාගන්නා අයුරු දක්නට ලැබේ.

එය ආශි‍්‍රතවම කෝට්ටේ සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ දේවාලයක් ද ඇතුළු සතර මහා දේවාල ස්ථානගතව තිබේ.

සපුමල් බණ්ඩාර කුමරුන් යාපනය බලා යුද වැදීමට යන මොහොතේ පිටත්වීමට පෙර මේ නා බෝධියට බාරහාර වී ගිය බැව් කියැවේ. එලෙස ම ඔහු රජකම පතා දිවුරුම් දුන් ස්ථානය ද මේ බැව් කියැවේ.

ගහකොළ තුරුලතාවලින් සෙවණ සදමින් ඉතා රමණීය නිසංසල බිම්කඩක කෝට්ටේ රජමහා විහාරය පිහිටා තිබීම නිසා එහි අභිමානය තවත් තීව්‍ර වී ඇති බව පෙනේ.

වර්ෂ 1813 දී පිලානේ බුද්ධ රක්ඛිත නාහිමියන් විසින් මෙම රජමහා විහාරය සොයා ගන්නා විට හමු වී ඇත්තේ නෂ්ටාවශේෂයන් රැසක් පමණි. කෙසේ වෙතත් ඉපැරණි විනාශ වී ගිය සාධක ඔස්සේ බැලිය යුතු නිසා රාජමහා විහාරයේ අතීතය සොයා යාමට ඇති සාධක ඉතා අල්පය. 1949 වර්ෂයේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පළ කළ වාර්තාවක සඳහන්ව තිබූ පරිදි “කෝට්ටේ නගරයේ තරම් පුරාවස්තු විනාශයට ගිය අනෙක් රාජධානියක් තවත් නැතැ” යි කියැවේ.

විහාර මන්දිරය තුළ සැතපෙන දහ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙහි වැඩ සිටී. සිරස්පත සහිත ප්‍රභා මණ්ඩලය පාදාන්තය දක්වා විහිදේ. පාමුල ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිමාවකි. මෙහි දකුණුපස උළුවස්සේ වික්ටෝරියා මහ රැජිනගේ උඩුකය පමණක් නිරූපිත රුවක් දක්නට ලැබේ. බමුණු ගෙය මෙන් ම පැරැණි දළදා මාළිගාව ද මෙහි ඇති අති විශේෂ ඉදිකිරිම්ය. රජමහා විහාරයෙන් සීමා මාලයට ඇතුළු වන ප්‍රධාන දොරටු දෙකකි. ඒවා යෝධ ගල් උළුවහු දෙකකින් සමන්විත ය. මේ බිත්ති සියල්ල මනහර චිත්‍ර කර්මයන්ගෙන් විසිතුරුව ඇත. ජාතක පොතේ සඳහන් කතා පුවත් එහි සිතුවම්වලට පාදක වී ඇත.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

කෝට්ටේ රජමහා විහාරය