මිනිස් වර්ගයේ සහජ පුරුද්ද හා එකතු කිරීමේ ආසාව පදනම්ව කෞතුකාගාරය නම් සංකල්පයේ මුල බීජය හටගන්නට ඇතැයි සිතිය හැකිය. ඒ අනුව විවිධ ආයතන මුල් කර ගනිමින් කෞතුකාගාර බිහි වූ අතර පුරාවස්තුන් ආරක්ෂා කිරීමේ නියාමන ආයතන වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද කෞතුකාගාර කීපයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ මුල් කර ගනිමින් පවත්වාගෙන යයි.

ඒ අනුව, 1992 මාර්තු මස 22 දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සුවිශේෂී දිනයක් විය. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කෞතුකාගාර අතරට තවත් එක් අමුත්තෙක් එක් වීම ය. එනම් ඊ.ඩබ්ලිව්. පෙරේරා නම් නිහතමානී, පර්ත්‍යාගශීලී, සමාජ සේවක මිනිසා ජීවත් වූ නිවහන කෞතුකාගාරයක් බවට පත් වීමය. ඒ අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව බස්නාහිර පළාතට ඇති එකම පුරාවිද්‍යා කෞතුකාගාරය වන්නේ ද කෝට්ටේ පිහිටි ඊ.ඩබ්ලිවි. පෙරේරා අනුස්මරණ කෞතුකාගාරය යි.

කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ කෞතුකාගාරය පිහිටා ඇති අතර, ඇතුළු කෝට්ටේ නගරයෙන් මීටර් 200 පමණ බටහිරින් වූ නුගේගොඩ මාර්ගයේ බංගලා හන්දියේ වම්පසින් ස්ථානයට ළගාවිය හැකිය.

මේ ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක හැඩරුව අනුව ගොඩනැගිල්ලට ඇතුළු වන ප්‍රවේශ ආලින්දය රවුම් කුලුනු ත්‍රිත්වය බැගින් වූ කුලුනු පෙළකින් සමන්විත වන අතර විවෘත ආලින්දයකින් හා මණ්ඩපයක් වැනි කොටසකින් ද බරාදු කොටසකට අළලා සකස් වූ ඉදිරි පැන්නුමක් සහිතව ඉදිරිපස සකස් වී ඇත. බොරදම් සහිත ආරුක්කුවකින් දෙකට බෙදන ලද විශාල ප්‍රමාණයේ විසිත්ත කාමරයක ප්‍රධාන දොරටුවේ ප්‍රවේශය ලබාදේ. ප්‍රමාණාත්මකව ගත් කළ ලෝකය හමුවේ අපේ රට කුඩා දිවයිනකි. මේ පුංචි දිවයින මුහුදීන් වට වූ නිසා දූපතක් යැයි බොහෝ අය හඳුන්වති. එහෙත් අප ලෝකයේ ඉපැරැණි ජාතීන් අතර අද්විතීය උරුමයන් හමුවේ පළමු තැන ගනී. එම උරුමය මෙරට ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා ද ඉන් පසුව ද වූ සිදුවිම්වල ශේෂිත තොරතුරු මතින් ගොඩනැඟී ඇත. පුරාවස්තු මතින් පුරවිද්‍යාව ගොඩනැඟී ඇති අතර එම සාධක සියල්ලයේ ම එකතුව අප උරුමය ලෙසින් හඳුන්වමු. පුරාවස්තු යනු ශ්‍රී ලාංකීය අපගේ යටගියාව පිළිබඳව තොරතුරු හෙළිකරන ජීවමාන සාධක ය. ප්‍රාග් ඵෙතිහාසික අවධියේ පටන් මහනුවර රාජධානි සමයේ අවසානය දක්වා වූ කාල පාරාසයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන ලක්ෂ ගණනින් ශ්‍රී ලංකාව තුළ පෙළ ගැසී ඇත්තේ අන් සෑම ජාතියකටම නොදෙවනි අපේ උරුමයක් ලෙසින් ය. මේ උරුමය පෙළ ගැසී ඇති අන්දම බැලු කළ සමස්ත ශ්‍රී ලංකාව ම කෞතුකාගාරයක් ලෙසින් සිතන තරමට සංකීර්ණ ය.

එලෙසින් හමු වන පුරාවස්තුන් අතරින් මේ කෝට්ටේ කෞතුකාගාරයේ විවිධ යුගයන් නියෝජනය කරන්නා වූ කාසි 505 කින් ද, විවිධ යුගයන් නියෝජනය කරන්නා වූ වෙනත් පුරාවස්තුන් 332 කින් ද සමන්විත ය. මේ කෞතුකාගාරය තුළ ඩග්ලස් රණසිංහ හා ඊ.ඩබ්ලිව් පෙරේරා යන පරිත්‍යාග ශීලීන්ගේ පුරාවස්තුන් මෙන්ම වෙනත් අය විසින් පරිත්‍යාග කරන ලද හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගන්නා ලද පුරාවස්තුන්ගේ එකතුවක් ඔබට දැකගත හැකිය. ඉතාලි ගෘහ නිර්මාණයන්ගේ ලක්ෂණ සහිත මේ ගොඩනැගිල්ල තුළ මැදිරි 5කින් යුතුව වසර 150කට ආසන්න කාල වකවානුවන් රාජධානියකට පැවති කෝට්ටේ රාජධානියේ තොරතුරු මෙන්ම ඒ ආසන්න ප්‍රදේශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එකතුව පුරාකෘති තැන්පත් කර තිබෙනු ඔබට දැකගත හැකිය.

එච්.එම්.එස්.කේ.අරැගම

පුරාවිද්‍යා පර්යේෂණ සහකාර නිලධාරි (කැණීම්)

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

 

Location name: 

කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය