පළාත - බස්නාහිර

දිස්ත්‍රික්කය - කොළඹ

පරිපාලන නගරය - කොළඹ

භූමි ප්‍රමාණය - හෙක්ටයාර් 1674

සීමා -  උතුරින් හා නැඟෙහිරින් කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් දකුණින් හා බටහිරින් මහරගම හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්

ග්‍රාම සේවා වසම් - 20

ප්‍රධාන ආර්ථික මාර්ගය - සේවා හා කාර්මික අංශයෙන්

ජනගහනය -  118,201

කෝට්ටේ වූ කලී සිරිලක අසිරිමත් පුනරුදයක ප්‍රභාවත් ව තිබු රාජධානියක් ලෙස සැලැකේ. මහනුවර යුගයට පෙරාතුව සශ්‍රීකව වැජඹුණු අගනගරය වුයේ කෝට්ටේය. ඉතා උසස් ශාසනික මෙහෙවරක් මෙන්ම සාහිත්‍යය අතින් ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් මේ යුගය තුළ දක්නට ලැබිණි. දේශපාලනික වශයෙන් කෝට්ටේ නගරය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන්නේ 14 වැනි සියවස තරම් යුගයක දී ය. එහි ආරම්භකයා වන්නේ නිශ්ශංක අලහක්කෝනාර හෙවත් අලකේශ්වරයන්ය. මේ නගරය ආරක්ෂිත අගනගයක් ලෙස තෝරා ගැනීමට හේතු වූ භූමි සාධක බොහොමයක් විය. වගුරු බිම්වලින් වට වූ මෙන්ම තුන් පැත්තකින් ගංඟා වලින් මායිම් වු ග්‍රාමයක් විය. ජයවර්ධනපුර නමින් ඉදිකරන ලද ප්‍රදේශය කලින් හැඳින්වුයේ ‘දරුගම‘ ලෙසය. දියවන්නා ඔය සහ කොළොන්නාව ඔය එක් ගංඟාවක් ලෙස යාවී එක්වුයේ දරුගම දීය. දරුගම මෙලෙස ස්වාභාවික ලෙස ආරක්ෂා වූ බැවින් සතුරු ආක්‍රමණවලට එය බාධාවක් විය. පිහිටීම අනුව කෝට්ටේ බළකොටුව ආසන්න වශයෙන් වර්ග සැතපුමක පමණ භූමි භාගයකි.

ආරක්ෂිත කොටුපවුර අඩි 8ක් උස් වු අඩි 35 පමණ පළල වුවකි.

තනිකරම කබොක් ගල් වලින් ගොඩනඟා ඇති ත්‍රිකෝණ කාර හැඩැති වට වූ නගරයක් එසේ දැකිය හැකිය. බළකොටුව දූපතක් ලෙස ගැඹුරු දිය අගල් දෙකකින් වෙන් වී තිබිණි. ය එහි ආරක්ෂාව සඳහා හේතු විය. එයට පිවිසෙන භූමිය මරුඋගුල් ආදිය ආශ්‍රයෙන් බාධක අහුරා දමා තිබී ඇත. කොටුපවුර හතර කොනේ උපුල්වන් සමන්, විභීෂණ ස්කන්ධ දේවතාවුන් සඳහා දේවාල හතරක් විය.

6 වැනි පරාක්‍රමබාහු රජ සමයේ දී රට එක් සේසත් කළ අතර එම කාල පරිච්ඡේදය තුළදී බුදු දහම, සිංහල සංස්කෘතිය ඉහළට කීර්තියට හා තේජසයට පත් වූ යුගයයි. රජ මාලිගාව නැගෙනහිර පැත්තේ පිහිටා තිබු අතර එහි උද්‍යාන,වතුරමල් ආදියෙහි අලංකාර වී ඇත. මහල් තුනකින් යුත් පන්සල තුළ දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබී ඇත. තවද මහල් 5 න් යුත් බෞද්ධ ආශ්‍රමය භික්ෂුන් 60 නමක් සඳහා සෙවණ සැපයීය. උතුරට රජුගේ භාණ්ඩාගාරය, නගරයෙන් පිටස්තරව බැද්දගානේ පිහිටි රාජකීය භූමදාන භූමිය (වෙහෙර කන්ද ස්මාරකය) මෙන්ම නගරය තුළ වු එකම වෙහෙර වුයේ කොටවෙහෙර පන්සල ය. එලෙස නගරයේ ශ්‍රී විභූතිය අතිමහත් විය. කලක් ගතවන විට පෘතුගීසින් විසින් කෝට්ටේ නගරය අතහැර දමන ලද්දේ ඔවුන්ගේ අවධානය යොමු වුයේ කොළඹ නගරයට පමණක් වීම නිසාය.

කෝට්ටේ රාජධානිය අතහැර දැමු පෘතුගීසින් මේ නිසා කොළොම් තොටට ඒකරාශී විය. සීතාවක හමුදාව ශ්‍රී ජයවර්ධනපුර නගරය බිමට සමතලා කළේය. නටබුන් වූ නගරය කලක් ගතවන විට කැලයෙන් යට වී ගියේය. එහෙත් සිංහලයෝ මේ නගරය අතහැර යාමට අකමැති වූහ. කෝට්ටේ රාජධානිය පිළිබඳ ඇත්තේ එවන් මතකයක් පමණි.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

Location name: 

අසිරිමත් කෝට්ටේ