අප සිංහරාජයට ඇතුළු වුයේ වනයට පවා නොදැනෙන තරමේ නිහඬ බවකිනි. මුළු පරිසරයම සුළඟේ සර සර හඬින් ගීතවත් වී තිබිණි. වියළි දිරා ගිය කෝටුවකට හෝ පය නොතබන්නට අපි පරිස්සම් වීමු. ඒ වියළි දර කෝටූ ‘සරාස්’ හඬින් කැඩෙද්දී පවා වනයේ මහා නිහඬතාවට බාධාවක් විය හැකි බැවිනි. වන පෙතේ පිරිසුදු සිහිල් සුළඟින් හදවත් පුරවා ගනිමින් සිටි අපට, තිගැස්සෙන තරම් තියුණු නාදයක් කන් කිරි ගස්වමින් දිගින් දිගටම ඇසෙන්නට විණි. චින්ක්.....චින්ක්... තවත් ටික වේලාවකින් චික්.... චික්...මේ නාදය ඉතා ළඟින් අසෙද්දී මහා ඝෝෂාවක් බඳුය. අපි නිසොල්මනේ ගස් අතු පතර නිරීක්ෂණය කළෙමු. නෙත වසඟ කරන සුන්දර නිල් රතු පැහැ මිශ්‍ර වූ සුන්දර පක්ෂියකු වේගයෙන් අප වෙතින් ඉවතට පියඹා ගියේය. ඒ සුන්දර පක්ෂියාගේ නෙත් වසඟ කරන අලංකාරයෙන් මත් වූ අපට උන්හිටි තැන් පවා අමතක විණි. මඳ වේලාවකින් හීන් හඬින් ගැයෙන ගීයක් වනය මැද්දෙන් ඇසෙන්න විණි. උන්ගේ රාජධානියට විත් නිදහසට බාධා කරනවාට කෙරෙන මැසිවිල්ලක් බඳු ළයාන්විත බවක් එහි තිබිණි.

මේ සුන්දර පක්ෂියා කැහිබෙල්ලා හෙවත් නිල් පොල්කිච්චාය. වනයේ සැරිසරන මනාලිය ලෙසින් මේ සුන්දර පක්ෂියා හඳුන්වන්නේ එතරම්ම චමත්කාර නිසාය. කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ පමණක් දක්නට ලැබෙන කැහිබෙල්ලා රතු දන්ත පොතේ ද නම සටහන් කර ගන්තෙකි.

ප්‍රමාණයෙන් මයිනකුට වඩා මඳක් විශාල, මේ පක්ෂියාගේ පියාපත් නිල්, රතු හා දුඹුරු පැහැවල මිශ්‍රණයකි. දීප්තිමත් නිල් පැහැයෙන් බබළන ඉතා දිගු පෙඳයක් ඇත. පෙඳයේ අග සුදු පැහැතිය. සිරුරේ යටි පැත්ත නිල් පැහැතිය. ඇස වටා තද රතු පාටය. සිංහරාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර හෝර්ටන් තැන්න, කිතුල්ගල හා ශ්‍රී පාද අඩවියේ ද ඉඳහිට දක්නට ලැබේ.

කැහිබෙල්ලා සර්වභක්ෂක කුරුල්ලෙකි. කෘමින්, ගස් ගොම්බන්, කටුස්සන්, දළඹූවන් හා පළා පෙත්තන් මෙන්ම පලතුරු ද ආහාරය ගනී. ජනවාරි සිට මාර්තු දක්වා ප්‍රජනන සමය ක්‍රියාත්මක වේ. කිරිල්ලිය වරෙකට බිත්තර 3 - 5 ක් පමණ දමයි. තරමක් උස ගසක ඇති කරුවක විවෘත කුඩුවක් සදයි. කැහිබෙල්ලා වඳ වී ගෙන යන පක්ෂියෙකි. මේ පක්ෂියා වෙනත් කිසිදු රටක දක්නට නැත.

කැහිබෙල්ලට කරදර සිදුවන්නේ කොහාගෙනි. කොහා කාක්කාගේ කුඩුවේ බිත්තර දමන සේම කැහිබෙල්ලාගේ කුඩුවේ ද බිත්තර දමයි. එය කැහිබෙල්ලන්ගේ බෝවීමට බාධාවක් වී තිබේ. සංචාරකයන්ට පෙන්වීම සඳහා සිංහරාජය අවට සංචාරක නිකේතනවල අයිතිකරුවන් විවිධ උපක්‍රම යොදා කැහිබෙල්ලන් තම හෝටල් ආසන්නට ගෙන්වා ගනිති. එයද මේ දුර්ලභ පක්ෂියාගේ පැවැත්මට තර්ජනයකි. පරිසරයේ හටගන්නා පළතුරු මෙන්ම ඒ පරිසරය විසින්ම සපයන කෘමීන් ආහාරයට ගනිමින් පරිසරයේ ම කොටසක් වන්නට කැහිබෙල්ලාට ඉඩ හසර විවර කරන්නේ නම් බාහිර උපද්‍රවවලින් මේ සුන්දර පක්ෂියා බේරා ගත හැකිය.

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

වනයේ සැරිසරන මනාලිය