සිරිලක පුරා ඇසළ සිරියෙන් ඇළලී යන සමය උදාවී ඇත. බොහෝ පූජනීය සිද්ධස්ථාන පුරා ඇසළ පෙරහර මංගල්‍යයෙන් ආලෝකවත් වී බොදු හදවත් බොදු බැතියෙන් දනවන කාලය යි. කිත්සිරි මෙවන් රජ දවස පටන් අනාදිමත් යුගයක සිට පැවැත එන මේ ඇසළ පෙරහර මංගල්‍යයට සකල සිරිලක් වාසීන් ලහි ලහියේ් ම සූදානම් වන්නේ මේ වකවානුව වන විට ය. අලි ඇතුන් පිරිවරා අලංකාර නැටුම් ගැයුම් ගිනිකෙළි ඇතුළුව සතර මහා දේවාල නියෝජනය වන පරිදි දේවාභරණ වැඩමවීමක් මෙහිදී දැකිය හැකිය.

නුවර දළදා මංගල්‍යය , මේ මංගල්‍යයන් අතර ඉතා ප්‍රධාන වේ. සුවිශාල ජනගංඟාවක් මෙන්ම බොදුනුවන් සියදහස් ගණනකගේ සහභාගීත්වයෙන් යුතුව පෙරහර ආරම්භ වේ. මෙය එක් අතකින් සිංහලයන් වූ අපගේ සංස්කෘතික මංගල්‍යයේ මුදුන් මල් කඩයි. සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගල - මහනුවර රාජධානිය සිසාරා වසරකට වරක් එහි පැදකුණු කොට දළදා වහන් සේ නමස්කාර කෙරෙන වන්දනීය අභිෂේක මංගල්‍යය යි. මේ පෙරහරට දිගු කලක් තිස්සේ ආවතේව කරමින් සැලසුම් සහගත ලෙස කටයුතුවල නියුතුවනු දැකිය හැකිය.

කප් සිටුවීමේ මංගල්‍යයකින් පසුව දින නියමයකින් ආරම්භ කෙරෙන මේ උළෙල අතිමහත් අලංකෘත දසුනක් වනු ඇත. දෙස් විදෙස් නරඹන්නන් ඇතුළු නරඹන්නන් දහස් ගණනක් මේ පෙරහර මංගල්‍යයට පූජෝපහාර පවත්වන්නට සැදී පැහැදී සිටිනු ඇත. එදා කිත්සිරිමෙවන් රජ යුගයෙන් පැවත ආ ඇසළ මහා පෙරහර මංගල්‍යය එදා මෙදාතුර සියලු රජවරුන් ඉමහත් බැතියෙන් යුතුව සමරන අයුරු අද ද දක්නට ලැබේ.

වසර 1592 දී පළමුවන විමලධර්මසූරිය රජ සමයේ දී ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම කරවූ බවට සැලකෙන අතර එදා පටන් කන්ද උඩරට ඇසළ මංගල්‍යය පවත්වාගෙන ඒමට යෙදිණි. දළදා වහන්සේට පුදසත්කාර පිණිස කොඩි සේසත් , මුරායුද ,පංචතූර්යනාද , නැටුම්කරුවන්, පිරිවරාගත් අලිඇතුන් පෙරදැරිව ගමන් ගන්නා දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර දිව්‍යමය දසුනක් සිහිගන්වනු ඇත. ඇසළ මස පුර පසළොස්වක පෝය දිනට හෝ නිකිණි මස පුර පසළොස්වක පොහොය දිනට අවසන් රන්දෝලි පෙරහර යෙදෙන සේ වාර්ෂිකව පෙරහර පැවැත්ෙවි.

කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහර පහක් ද ඉන් අනතුරුව වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලි පෙරහර පහක් ද, පැවැත්වේ. අවසන් රන්දෝලි පෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රිියේ ගෙඩිගේ විහාරයට පෙරහර කරඬුව වඩමවන පෙරහර ද පැවැත්වේ. පසුදින දහවල් පෙරහර පැවැත්වීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වේ. ඇසළ පෙරහරේ මුළින්ම ගමන් කරන්නේ ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරයි. ඊට පසු පිළිවෙළින් නාථ,විෂ්ණු, කතරගම, හා ශ්‍රී පත්තිනි දේවාලවල පෙරහර ද ගමන් කරනු ඇත.

පෙරහර සාර්ථකව අවසන් කළ බවට රටේ ප්‍රධාන පාලකයා ලෙස ජනාධිපතිතුමා වෙත සංදේශයක් පිළිගැන්වීමත් සමග ම පෙරහර කටයුතු සියල්ල සමාප්තියට පත්වේ. දළදා පෙරහර මංගල්‍ය පවත්වා දළදා පූජෝපහාරය පැවැත්වීමෙන් පසුව මුළු රටටත් ජනතාවටත් ශාන්තිය උදාකරමින් කන්ද උඩරට මහා පෙරහර මංගල්‍ය මෙලෙස අවසන් වේ.

2017 ජුලි මස 24 වැනි දින පෙ.ව. 6.58 ට කප් සිටුවීමෙන් පසු පෙරහර ආරම්භ වේ.

මෙවර පෙරහර පැවැත්වෙන්නේ 1706 වැනි වාරයටයි. අලි ඇතුන් 75 දෙනකු, කලාශිල්පීන් 3000 පමණ සහභාගිත්වයෙන් සිදුකෙරේ.

 

පෙරහර ආරම්භය ජූලි 29

අගෝස්තු 02 කුඹල් පෙරහර

අගෝස්තු 03 රන්දෝලි පෙරහර

අගෝස්තු 04, 05, 06 පෙරහර

අගෝස්තු 07 අවසන් පෙරහර

අගෝස්තු 08 දිය කැපීම (දහවල් පෙරහර)

 

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

 

නන්දි අලුත්ගේ රත්නවීර
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

ඇසළ සිරියෙන් ඇළලී යන කන්ද උඩරට