පිහිටීම - 
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටයි. 

ගමන් මාර්ගය - 
මහනුවර - යාපනය ඒ 9 ගමන් මාර්ගයේ 48ම්ථ කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ 1.2 ම්ථ පමණ ගමන් කිරීමෙන් පසු නාලන්ද ජලාශය හමු වේ. 

හිරුටත් කලින් ම අවදි වී අහසේ සැරිසරන පක්ෂියෙක්. වෙලාව අලූයම 6 ට ආසන්න ය. වටපිට පැවැති තුනී අන්ධකාරය අතරින් නැඟී එන්නට වූයේ විවිධාකාරයේ සියොත් රාවයන් ය. නැවුම් දිනයක ආරම්භය සනිටුහන් කරමින් ඇරැඹි කුරුලු සංගීතයත් සමඟින් නැගෙනහිර අහස දෙසින් හිරු කිරණ මෝදුවන්නට විය. නාලන්ද ජලාශය වෙත පතිත වූ රතු පැහැති හිරු කිරණ අතරින් දක්නට හැකි වූයේ සිය දෛනික රාජකාරි ආරම්භ කරමින් ආහාර සොයා ඇදී යන පක්ෂීන් සමූහයා ය. හිරුටත් කලියෙන් ම අවදිව සිය කටයුතු ආරම්භ කර සිටි කුරුලූ ප්‍රජාව වෙතින් දක්නට ලැබුණේ ඉතාම කඩිසර සහ උද්‍යෝගිමත් විලාසයකි. වැව මධ්‍යයේ පිහිටි ගසක වසා සිටි පක්ෂීන් පිරිසක් එකවර අහසට නැගුණේ සොඳුරු දසුනක් මවමිනි. වැව් ඉවුරේ පිහිටි ගසක අත්තකට වී සිය කුරුමානම නොවරදින බව ව්ශ්වාසයෙන් ම දැන සිටි ආඩම්බරකාර පිළිහුඩුවා ඇසිපිල්ලමක වේගයෙන් දිය වෙත නැඹුරු වූයේ මාළුවෙකු ඩැහැගනිමිනි.

නාලන්ද, මීගොල්ල, දෙහිගහකොටුව, වම්බටුයාය, හුංගන්වෙල, පිළිහුඩුගොල්ල යන වැව් ගම්වැසියන්ගේ හදවත නාලන්ද ජලාශයයි. සිය ගොවිතැන් බත් සරු කර ගන්නට අහස් දිය රඳවා ගන්නට ආදියෙදී මිනිසා විසින් හදපු කෘත්‍රිම ජලාශයක් වුණත් වැව සොබා දහම එක්ක කොයි තරම් අපූරු විදියට බද්ධ වුණාද කිව්වොත් අද වැව ගැන කතා කරන්නේ සොබා දහමේ කොටසක් ලෙස යි.

 

 

 

Location name: 

හිරුටත් කලින් ම අවදි වන නාලන්ද වැව් තාවුල්ල