සොබා දහම හා මිනිසා අතර ඇති සබැඳියාව සුළු පටු නොවේ. ඉවත ලන දෑ වලින් වුවද අනර්ඝ නිමැවුම් නිමවන්නට ද මිනිසා මහත් සමත්කමක් දක්වයි. ඉවතලන කඩදාසි, පොලිතීන්, බෝතල්, ප්ලාස්ටික්, රෙදි පමණක් නොව අප සිහිනෙන්වත් නොහිතන දෑ උපයෝගී කොට ගෙන ඉතා ඉහළ මිලකට වුවද අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සහජ හැකියාව හෙළයන් සතු ය. ඔවුන් මේවාට හුරු පුරුදු වනුයේ ඇතැම් විට පාරම්පරිකව ය. නැතහොත් භාවිතයෙනි. සහජ දක්ෂකතාවයෙනි. ලී කැටයම් ද එවන් අපුර්වතම නිර්මාණයන් ය.

ඕනෑම ලීයක් රැගෙන අනර්ඝ කැටයමක් කිරීමට හපන්නු අපේ රටේ හිඟ නොවේ. මේ ද එවන් කාර්යයකි. අපූරු කලා රසයක් මේ සෑම නිමැවුමකම දක්නට ලැබෙයි. පේරාදෙණිය, කොළඹ, ගාල්ල සහ පොළොන්නරුවේ ඔවුන්ගේ නිෂ්පාදන හල් දක්නට ලැබෙයි. ඒ අතරින් පොළොන්නරුව හතමුණපාරේ පිහිටි නිශාන්ත කැටයම් වැඩපළ වෙත පසුගියදා අපට ගොඩවීමට ඉඩකඩ ලැබිණි.

පාරම්පරිකව උරුම වූ ඥානයෙන් නව අත්හදා බැලීම් ද නව තාක්ෂණය ද මුසු කරගනිමින් මෙහි කැටයම් කලාව සිදු කෙරේ. තේක්ක, මහෝගනී, මාර, පළු වැනි මේ ලී කැටයම් නිර්මාණයන්ට උපයෝගී කර ගනී. වර්ෂ 1981 දී කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ මේ ස්ථානයේ අද 20 - 30 දෙනෙක් පමණ රැකියා කරති. එසේම ලී වලින් තැනු අලි, බුදු පිළිම, දේව රූප, වෙස් මුහුණු ආදී නොයෙක් කැටයම් නිර්මාණ රැසක් මෙහි විකිණීමටත් ප්‍රදර්ශනයටත් තබා තිබේ. අගෝස්තු මස සිට අපේ‍්‍රල් දක්වා විදෙස් සංචාරයෝ බහුල වශයෙන් පැමිණෙන කාලච්ඡේදයේදී මෙහි හොඳ වෙළෙඳපොලක් දක්නට ලැබෙයි. රුපියල් 100 සිට ඉහළම අගයන් දක්වා මෙහි කැටයම් නිර්මාණ මිලදී ගත හැකියි. ලී කැටයම් නෙලීම, පොලිෂ් කිරීම, තීන්ත ගෑම සේම සංචාරකයන්ට විකිණීම හා නැරැඹීමට එන අයට පෙන්වා දීම ආදීය මෙහි එදිනෙදා සිදු කෙරේ. හෙළ සංස්කෘතිය පිළිබිඹු කරන නිර්මාණ රැසක් මෙහි දක්නට වුයෙන් බොහෝ දෙස් විදෙස් සංචාරකයෝ මේවා සිහිවටන හෝ ත්‍යාග වශයෙන් රැගෙන යෑම ද සිදු කරති.

 

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

හෙළ කැටයම් කලාව...