හිරු රැස් ක්‍රමයෙන් රතු පැහැ ගත්තේ ය. දූපතේ පිහිටි පර්වත මුදුන් තඹ පැහැයෙන් දිස්වන්නට විය. කොක්කු රංචුවක් පියාපත් සලා ඉගිල යන්නට ගත්හ. ගස්වල කරටි මත වැතිරි තිබුණු හිරුරැස් ක්‍රමයෙන් ඉවත් වන්නට විය. තුරු වඳුළු අතරින් වැවේ නිල් ජල තලය අඩ සඳක හැඩයෙන් දිලෙන්නට විය. මේ පරාක්‍රම මහා සමුද්‍රය යි. එහි මැද ඇත්තේ කුරුලු රජ දහනකි. මෙහි කුරුල්ලෝ රැසක් වෙති.උන් කැඳලි තනති. සැළලිහිණියා, ගිරවා, සුදු කොකා, කලු හොට සහිත කොකා, පෙදිකොකා, කුරුලුගොයා,බට්ටිච්චා, පරවියා, කොබෙයියා, මයිනා, කහ කුරුල්ලා, කපුටා, දියකාවා, පැස් තුඩුවා ආදීහු ඒ අතර වුහ. ඒ අතර ඉහළ අහසේ ඈත මෑත පියාපත් විදහා උකුස්සා, රාජඅලියා ආදී කුරුල්ලෝ කුරුමානම් අල්ලති. ඒ පක්ෂි දඩයමට ය. නැතහොත් බිජු දඩයමට ය. මා හුන් තැනට ඉහළින් වූ පරිසරය කුරුල්ලන්ගේ හඩින් දොඩමළු විය. උන් උන්ගේ ලෝකයේ වෙසෙති. අප ආ වගත් උන්ට නැත. මේ උන්ගේ රාජ්‍යය යි. උන්ගේ නමින් ලියැවුණ කුරුලු රාජ්‍යය යි. එසේ හෙයින් උන්ට බිය වීමට ද කිසිදු හේතුවක් නැත. අප පැමිණියේ ද ආක්‍රමණයකට නොවේ. ඒ බැව් ද උන්ට නොදැනුණා ද නොවේ.

නැවතත් සමුද්‍රයේ ජල තලය අඩ සඳක හැඩයක් ගති. එය පර්වත පාමුල දක්වාම විහිදි ඇත. අහස කළු වළාවෙන් වසා ගති. දැන් එහි වෙනත් කිසිඳු වළාකුලක සේයාවක් ද පෙනෙන්නට නොවීය. හිටි ගමන් පැරකුම් මහ සමුදුරේ ජලජ සියොත් කැළ වහා කලබල කරන්න ම පටන් ගත්හ. කුරුලුගොයකු උස්තුරු හිසක හිඳ වරින් වර හඩ තැලුවේ තමාගේ උදහස ප්‍රකාශ කරන්නට මෙනි. සුවිසල් තුරු හිස්මත කොක්කු රැළකි. ඈතට උන් දිස්වනුයේ සුදු මල් පොකුරක් සේය. කුරුලු කුජන හඩ එන්න එන්නම වැඩි විය. ජලජ පුෂ්පයන් හරහා හමා එන සුගන්ධයෙන් නාස් පුඩු කිති කැවිණි. වහා පියඹා ආ උකුස්සා කුඩා පැටවකු ඩැහැගන්නේ ඇසිපිය හෙළන නිමේෂයෙනි. ඉන් තැති ගැන්මටත්, කලබලයට පත් මව්පියෝ තම දරුවන්ට රැකවරණය පතා වහා ඉඟිල එති. දුබලයා පරදා ප්‍රබලයා ජයගන්නේ මනුසත් ලොවේ පමණක් ම නොවන බව මට වැටහිණි. අසරණයෝ කෑ මොර දුන්න ද උකුස්සා සිය ගොඳුර රැගෙන මිස හිස් අතින් ඉඟිි ගියේ ද නැත.

තවත් තොරතුරු සඳහා පුවත්පත මිලදී ගැනීමට පිවිසෙන්න www.lakehouseonlinepayments.lk

 

 

 

 

කුරුලු රාජ්‍යය සොයා ගිය ගමන