බුද්ධාලම්භන ප්‍රීතිය දනවමින්, සුදෝ සුදු පෙණ බුබුළක් මෙන් බබළවමින්, අහස් කුස සිඹිමින්, විරාජමානව වැඩ ඉන්නා වෙහෙර වහන්සේ නමකි. ඒ අන් කිසිවක් නොව කතරගම කිරිවෙහෙර වහන්සේය. මෙය මඟුල් මහා සෑය නමින් හඳුන්වයි. සෑයට නම ලැබීම සම්බන්ධයෙන් විවිධ මත පවතී. දාගැබ් වහන්සේ පර්වතයක් හා සමාන උස්කඳු ප්‍රදේශයක පිහිටා ඇති බැවින් ගිරි වෙහෙර වශයෙන් ද, පසුකාලීනව එය කිරි වෙහෙර වූ බව ඉන් එක් මතයකි. කතරගම කිරි වෙහෙර සොළොස්මස්ථානවලින් එකකි. බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් උතුම් පින් බිමක පිහිටා ඇති. මෙය ඉතිහාසයෙන් සැඟවී ඇත. එහෙත් තවත් ජනප්‍රවාදගත තොරතුරු අපට සාක්ෂි සපයයි. ඒ අනුව බුදුන් වහන්සේ තෙවන ලංකාගමනයේදී රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟින් සමවත් සුවයෙන් මෙහි වැඩ සිටී බවත්, එහිදී මහාඝෝෂ නම් ප්‍රදේශාධිපතියකුට ධර්මය දේශනා කළ බවත්, එලෙස ධර්ම දේශනා කරන ලද්දේ කිහිරි උයනක වැඩ සිටිමින් බවත්, ජනප්‍රවාදයෙහි සඳහන් වේ.

කිහිරි උයනක වැඩ සිටිමින් ධර්ම දේශනා කළ බැවින් මහාඝෝෂ නම් ප්‍රදේශාධිපති තෙම එම ස්ථානයෙහි බුදුන්වහන්සේගේ කේශ ධාතු ස්වර්ණකුම්භයක් සහ බුදුන්වහන්සේ වැඩසිටී පර්යංකය ද තැන්පත් කරමින් මහා දාගැබක් ඉදිකළ බවත්, කිහිරි උයනෙහි දාගැබ ඉදිකළ බැවින් කිහිරි වෙහෙර නමින් හැඳින්වූ බවත්, පසු කළක කිහිරි වෙහෙර කිරි වෙහෙර වූ බවත් ජනප්‍රවාදයෙහි සඳහන් වේ.

වර්තමාන දාගැබ් වහන්සේ උස අඩි 92 ක් ද, පළලින් වට ප්‍රමාණය අඩි 277 ක් ද වෙයි. කොතෙහි උස අඩි 06 ක් වන අතර ඊට අඟල් 18 ක් උස සිළුමිණක් ද සවිකොට ඇත. කොත් කැරැල්ල අඩි 18 ක් උසය. දේවතා කොටුව අඩි 08 ක් ද, හතරැස් කොටුව උසින් අඩි 12 ක් හා පැත්තක් අඩි 22 කින් ද, සමන්විත වෙයි. මෙම දාගැබෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ සලපතල මළුව හා ගජන් මළුව යන මළු තුනකින් සමන්විත වීමයි.

පදියතලාවේ අමරවංශ හිමි

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

sub title : 
කිරි වෙහෙර

කිරි වෙහෙර වූ කිහිරි වෙහෙර