ඈත අතීතයේ ඉසලිංග නම් තපස් වරයෙක් වාසය කළා. ඔහු හුගක්ම බල සම්පන්න කෙනෙක්. සෘධිය උපදවාගත් යෝගීවරයෙක්. ඔහු වනාන්තරයේ භාවනා කරමින් තපස් රකිමින් කාලය ගත කළා. තාපස අසපුව අසල එතුමා මූත්‍රා කරන තැනක් තිබුණා. එතැන සරුවට තණකොළ වැවිලා තිබුණා. ඒ අවට ගැවසුණු මුව දෙනක් අර තණකොළ කෑවා. මුව දෙනෙට පැටියෙක් ලැබුණා. ඒ ඉපදුණු පැටියා ගැහැනු ළමයෙක්. ඉසිලිංග තාපසයා ඒ දරුවා තාපසාරාමයට අරගෙන ගිහින් ඉතාම ආදරයෙන් හදාවඩා ගත්තා. වල්ලි කියලා නම තිබ්බා. ඒත් ටිකෙන් ටික ළමයා වැඩි වියට පත්වෙන කොට ඇයව තාපසාරාමයේ තබා ගැනීමට ගැටලුවක් වුණා. ඒ ගැටලුවෙන් මිදෙන්න හිතලා තාපසතුමා ඒ ප්‍රදේශයේ හිටි වැදි නායකයාට කතා කරලා දරුවා ඔහුගේ දුවෙක් විදියට හදා වඩා ගන්න කියලා බාර දුන්නා. එදා ඉඳන් වල්ලි වැදි ළමයෙක් බවට පත් වුණා. පසුව ලොකු මහත් වෙලා ඉතා ලස්සන තරුණියක් වුණා. වල්ලිට අල වර්ග ධාන්‍ය වර්ග වගා කරන්න, හේන් වගා කරන්න ආදී වශයෙන් ගොවිතැන් කටයුතු වැදි නායකයා පුරුදු කළා. එක කලෙක මේ වැදි තරුණිය සෙල්ලකතරගම ප්‍රදේශයේ හේනක් වගා කරලා ඒක සොයා බලා ගනිමින් සිටියා. ඒ අතර දිනක් “නාරද” කියන බලසම්පන්න තාපසයෙක් වැඩ සිටී කන්දේ සිට ඉන්දියාවේ හිමාලයේ වනාන්තරයට යාමට සෘද්ධියෙන් අහසෙන් ගමන් කළා. ඒ කාලේ කතරගම වැඩිහිටි කන්දෙත් ඉන්දියාවේ හිමාල වනාන්තරයෙත් තිබුණ තාපස අසපුව තපස්වීවරු බොහොම සම්බන්ධයි. දෙපැත්තේ හිටපු තාපසවරු ඔවුනොවුන් මුණගැහෙන්න අහසින් හිමාලයටත්, වැඩිහිටි කන්දටත් ආවා ගියා. එහෙම යද්දි තමයි නාරද සෘෂිවරයා අර වල්ලි අම්මා හේනේ ඉන්වා දැක්කේ. ඇගේ රූමත්කම හා විශේෂත්වය නිසාම තාපසතුමා තමන් දියුණු කරගෙන තිබුණු පෙර ආත්ම දකින නුවණින් මේ වැදි තරුණිය ගැන විමසා බැලුවා. එතකොට දැනගන්න ලැබුණා ඇය ඉහත ආත්ම ගණනක සිට තම මිත්‍ර කඳ කුමරුගේ බිරිඳ වෙලා ආදරයෙන් බැඳිලා හිටපු බව. කඳ කුමරු නැත්නම් කතරගම දෙවියෝ මේ වෙන කොට හිටියේ හිමාලයට ගොස් තපස් රකිමිනුයි. ඉන්දියාවට ගිය නාරද සෘෂිවරයා වල්ලි ගැන විස්තරය හිමාලයේ තපස් රකිමින් සිටී කඳු කුමරුට දැන්වූවා. ඇය පෙර ආත්මවලදීත් ඔහුගේ බිරිඳව ඉපදී සිටි වග කීවා. කඳ කුමරු මේ පුවතින් ඉමහත් සතුටට පත් වුණා. ඔහු වල්ලි ලබාගන්නා අදහසින් කතරගම වැඩිහිටි කන්දට ආවා. ඇවිත් වල්ලි අම්මා ගැන සෙව්වා.

 

 

Location name: 

වල්ලිට පෙම් බැඳි කඳකුමරු