කතරගම දෙවියන්ගේ නම මහාසේන ය. ඔහු දේවත්වයට පත්වීමට පෙර කතරගම හෙවත් කාචරගාම රාජ්‍ය පාලනය කළ ක්ෂත්‍රීය වංශික මහාඝෝෂ රජතුමා ය. එතුමාගේ රාජ්‍ය පාලන කාලපරිජේදයේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසුව මනිඅක්ඛිත නා රජුගේ ආරාධනයට තෙවන වර ලංකාවට වැඩම කළ සේක. එම අවස්ථාවේ උන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ අද කිරිවෙහෙර පිහිටි භූමියේ වැඩ වාසය කළ බව ධාතු වංශය පෙන්වා දෙයි.

කතරගම දෙවියන් හා බැඳුණු ඉතා රසවත් පුරාවෘත්ත රැසක් පවතී. ඔහුගේ උපත හා විවාහය ඒ අතුරින් කැපී පෙනෙන්නෙකී. ඒ අනුව කතරගම දෙවියන්ට බිරින්දෑවරු දෙදෙනෙකි. එක් අයෙක් ඉන්දියානු බිරියක් වන තේවානි අම්මා ය. අනෙක් බිරිය වන්නේ වල්ලි අම්මා ය. ඇය ශ්‍රී ලාංකික බිරිය යි.

ඇය කතරගම දෙවියන්ට හමු වු ආකාරය ඉතා අපූරු ජනප්‍රවාද රැසක් වටා ගෙතී පවතී. එක් ජනප්‍රවාදයකට අනුව ඇය වැදි කාන්තාවකට උපන් දැරියකි. තවත් ජනප්‍රවාදයකට අනුව ඇය ඕපපාතික ය. කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවි කෙනෙත් බවට විශ්වාස කෙරේ. එසේ වුවත් ඔහු සාමකාමී බෞද්ධ දෙවි කෙනෙකු බවත් උන්වහන්සේ යථා කාලයේ දී බුද්ධත්වයට පත්වන බවත්, සිංහල බෞද්ධයන්ගේ මතය යි.

කෙසේ වෙතත් කතරගම වූ කලී වසර 2500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ඵෙතිහාසික පුරවරයකි. දුටුගැමුණු රජු වසර 40 කට අධික කාලයක් අනුරාධපුරයෙහි බලය අල්ලාගෙන සිටී එළාර පරදා දේශය එක්සේසත් කරගැනීමට පෙර කතරගම දෙවිඳුන්ගේ පිහිට පතා බාරයක් විය. ඒ සටනින් ජය ලැබුවහොත් කතරගම දේවාලය මහා දේවාලයක් බවට පත් කරවන බවයි. එය එසේම සිදු විය. රජුට යුද්ධයෙන් ජය ලැබිණි. බාර වු අයුරින් රජු කතරගම දේවාලය මහා දේවාලයක් බවට ඉඳි කළේය. දෛනිකව වාර්ෂිකව එහි කළ යුතු පුද සිරිත් පිළිබඳව ද, ඒ වෙනුවෙන් තේවාකරුවන් පත් කර, ඒවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රාජ ආඥාවක් ද නිකුත් කළේය. එදා පටන් දුටුගැමුණුගේ ආඥාව අද දක්වාම පැවැත එයි.

ශ්‍රී ලාංකික ජන සමාජයේ ව්‍යාප්තව ඇති ජාති, ආගම්,දේශපාලන ආදී සියලු භේද නොතකා එකාවන් වැඳුම් පිදුම් කරන ආගමික ස්ථානයක් වශයෙන් කතරගම පුද පූජා භූමිය ජාත්‍යන්තර ප්‍රසිද්ධියට ද පත්ව ඇත. එබැවින් කතරගම දෙවියෝ සර්ව ආගමික දෙවියකි. අතීතයේ දී කතරගම දේවාලය හඳුන්වා දී ඇත්තේ රුහුණු කතරගම මහසෙන් මහා දේවාලය යනුවෙනි. මේ දෙවියන් කතරගම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන දේවාලය හා ඒ සමඟ බැඳී ඇති පුරාවෘත්තවලට අනුව ය.

අතීතයේ යම්කිසි ශ්‍රී විභූතියක් කතරගම දේවාල බිමෙන් විද්‍යාමාන වුයේ යම් සේද, වර්තමානයේත් ඒ ශ්‍රී විභූතිය මේ පුදබිම තුළින් ගමනාගමනය, සන්නිවේදනය, සනීපාරක්ෂක හා නේවාසික පහසුකම් වඩාත් ක්‍රමවත්ව සිදු කෙරේ. මේ පුජා භූමිය කේන්ද්‍ර කොට ගෙන ව්‍යාපාර අවස්ථා රැසක් පිහිටා තිබේ. මැණික් ගඟ මේ සියලු ගොඩනැඟිම්වලට වස්තු විෂය බව පැහැදිලිය. මේ සියලු දෑ කැටි කොට කතරගමට යන ඔබ වෙනුවෙන් අප ගොනු කළ දෑ මෙසේ දිග හරිමු.

 

කතරගම