අතීත රජ දවස මුළු රටට ද බත සැපයූයේ පුලතිසිපුරවරය බවට ඉතිහාසයේ සඳහන්ව ඇත. එපමණක් නොව “පෙරදිග ධාන්‍යාගාරය “බවට පත්වූ සිරිලංකා ද්වීපයේ වැඩිහරියක් වී අස්වැන්නට දායකත්වය දැරුවේ පොළොන්නරුව කෙත් යායෙන් බව කියැවේ. ඉතා දියුණු වාරිමාර්ග ක්‍රම, වාපී කර්මාන්ත, අතීතයේ දී මෙහි තිබූ බව ද සඳහන් ය. සමුදුර හා සමාන, රැලි නගන, පරාක්‍රම සමුද්‍රය ආදිය ඒවාට නිදසුන් ය. ‘අල්ලක් වපුරා මල්ලක් ගෙට ගන්නැයි” මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකට කළේ යැයි කියමනක් ද අපේ ඉතිහාසයට එක්ව ඇත.

පොළොන්නරු රාජධානිය තුළ කෘෂිකර්මාන්තයට ප්‍රධාන තැනක් ලැබී තිබුණු බවට සාක්ෂි සටහන් අදටත් දක්නට ලැබේ. අහසින් වැටෙන එක් වැහි බිදුවක්වත් අපතේ නොහරින්නට රට වැසියා උනන්දු කළේ ඒ නිසාය. අතීත රජ දවස මෙන්ම මෑත යුගයේ දී බිහි කළ ගොවි ජනපද ව්‍යාපාර තුළින් ද අපට එය තවදුරටත් තහවුරු වේ. ඒ අනුව බලන කළ පොළොන්නරු ප්‍රදේශය පුරා පැවැතියේ ඉතා සශ්‍රීක කෘෂිකාර්මික ජන ජීවිතයක් බව මොනවට පැහැදිලි වේ. එවන් අතීත සශ්‍රීක ජීවන රටාවක් නිසාම මුළු රටට ම බත බුලතින් හිඟයක් නොවීය.

පරිභෝජනයට සෑහීමෙන් අනතුරුව අතිරික්තය වෙනත් රටවලට ද අපනයනය කළ බව කියැවේ. වර්තමානය තුළ ද සහල් නිෂ්පාදනයේ කැපී පෙනෙන තත්ත්වයක් පොළොන්නරුව ප්‍රදේශය තුළම ස්ථාවර වී ඇති බවක් පෙනෙන්නට ඇත.

අදත් විශාල ධාරිතාවක් සහිත සහල් නිෂ්පාදන ආයතන දක්නට ලැබෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන ය. මුළු රටට ම බත සපයන්නේ මේ නිෂ්පාදිතයන් බව නොරහසකි. රටට ම සහල් බෙදන, පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමානයේ වී මෝල් ගණනින් 15 කට ආසන්න සංඛ්‍යාවක් තිබේ.

ඒ අතුරින් “හිරු සහල්” ප්‍රමුඛත්වයේ සිටන ඒවායින් එකකි. හෙට්ටිආරච්චි රයිස් ප්‍රඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ් ලෙසින් අංක 37, පළුගස්දමන, පොළොන්නරුව යන ලිපිනයේ පිහිටුවා ඇති හිරු සහල් ආයතනය ඉතා ප්‍රමිතිගත නිෂ්පාදන ලබාදෙන ආයතනයක් ලෙස ප්‍රකටයි. ප්‍රදේශයේ ගොවීන්ගෙන් ඔවුන්ට වී ලැබේ.

අවුරුද්දකට දෙවරක් යල මහ කන්න වගාවෙන් ලැබෙන එම වී හොඳින් වේලා ගබඩා කර ගැනීම සිදු වේ. යන්ත්‍රානුසාරයෙන් පිරිසුදු කර ගල් වැලි ඉවත් කොට තම්බා ගනී. යන්ත්‍රවල මේ ක්‍රියාවලිය සිදුවීමේදි එයට එකතු වන යකඩ ද්‍රව්‍ය මෙන්ම ඉතා සිනිඳු දූවිලි වැලි පවා අවසාන අදියරේ දී ඉවත් කිරීම සිදුවන්නේ ද යන්ත්‍රානුසාරයෙනි.

අලුතෙන් ලබාගන්නා සහල් වර්ග වල ගුණදොස් බැලීම ද සිදු වේ. 300 කට අධික ආයතනයේ සේවක මණ්ඩලයට ආහාර වේල් තුනම සපයන්නේ ආයතනය විසිනි. එම නිසා සහලින් ලැබෙන බතෙහි ගුණ අගුණ සෘජුවම දැනගැනීමට ආයතනයට හැකිය. ඒ අනුව කිලෝ ග්‍රෑම් 25-10-05 ආදී වශයෙන් පැකට් කර ඒවා වෙළෙඳ පොළට යැවෙන්නේ ඉතා වෙහෙසකර සංකීර්ණ ක්‍රියාවලියක් අවසානයේ දී ය. පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා තවත් එවැනිම සහල් මෝල් රාශියක් තිබේ.

අරලිය සහල්, තාරක සහල්, මේනක සහල්, ලහිරු රයිස් ප්‍රඩකට්, නිව් ලංකා රයිස්, සමර වී සහල්, නිව් ලංකා රයිස් මිල්ක්,සංජීව හාල් මෝල, චමරි සහල් මෝල, සීහල හාල් මෝල, සේවාගම හාල් මෝල, සූර්යා, රත්නායක හාල් මෝල, කේ.එන්.එච් හාල් මෝල යනාදී සහල් මෝල් විසින් රටට සහල් නිෂ්පාදනය කිරීමේ මහඟු සේවයට උර දී තිබේ.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

Location name: 

පුලතිසිපුර සහල්