නෙත ගැටෙන මානයේ දිස්වන්නේ තුරු මුදුන් පුරා සුපුෂ්පිත පුෂ්ප ගුලාවන් ය. පලබරින් ලඹදෙන අඹතුරු සෙවණ සිරුරට සුවදායක ය. මිහින්තලා පව්වට රන්වන් හිරු කිරණ පතිත වී වනපෙත ආලෝකයෙන් නැහැ වී ඇත. තුරුමත ලැගුම්ගෙන අතු ඉති බිඳ දමමින් කලබලයෙන් දිව යන සා මුව සේනාවන් නෙත් අයා විමසිලිමත්ව බලන්නේ වනපෙත පුරා සිදුවෙන මේ අසිරිය දෙස ය. රංචුපිටින් මුව පොව්වන්, සා පැටවුන් දිව යන්නේ සැඟවෙන්නට කැළෑරොදක් සොයමින් ය. රජතුමා දඩ කෙළියෙහි පැමිණ ඇත. දුණු හී මානාගෙන මේ ලුහුබැඳයන්නේ මුව පොව්වකු පසුපස ය.

“නවතින්න තිස්ස” ඒ මහා කාරුණික හඬ වන ගැබ සිසාරා යද්දී රජු විමතියට පත්වන්නේ මොහොතකිනි. හේ අවට පරිසරයට නෙත් යොමු කළේ විමසිල්ලෙනි. කඳු මුඳුන මත විරාජමානව සිටින්නේ කසාවතින් සැරසුණු ආගන්තුක පිරිසකි.

“මගේ නමින් මා ඇමතිය හැකි ජගතෙකු මෙහි නැත. එසේ හෙයින් ඔබ කවරහුද ?” රජු ඇසුවේය. “ජම්බුද්වීපයේ සිට ඔබ වෙත අනුකම්පාවෙන් මෙහි පැමිණියෙමු.” රජුත් පිරිසත් අතර ඇති වුයේ දීර්ඝ ප්‍රශ්නාවලියකි. ඉන් පැහැදී ගිය රජු දුනු හී පසෙක ලා දොහොත් මුදුන් දී වැද නමස්කාර කිරීමත් සමඟම අපට ආගමක් උරුම විය.

අදින් වසර දෙදහස් පන්සිය ගණනකට පෙර සිරිලක් වාසීන්ට නිවැරැදි ගමන් මඟක් උරුම වුයේ එසේය. මිහිඳු මහ රහතන්වහන්සේ ඇතුළු පිරිස උතුම් වු බුදු දහමේ පණිවුඩය රැගෙන සිරිලකට වැඩම කළේ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනක ය. දඹදිව රජු වු අශෝක අධිරාජ්‍යයාගේ පුතණුවන් වු මිහිඳු කුමරුන් සම්බුද්ධ සසුනෙහි පැවිදිව රහත් ඵල ලබා සිරිලකට වැඩම කළේ බුදු දහම අපට දායාද කිරීමට ය.

එදවස මෙහි රජ කළ දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ සිරිලක්වාසීන් බොහෝ දෙනෙකු ඒ උතුම් දහමට නතු විය. මුල් දිනයේදී ම රජතුමා ප්‍රමුඛ පන්සියයක් පමණ රාජකීයයන් පිරිසක් තෙරුවන් සරණ ගොස් තිබිණි. ගහකොළ, පර්වත, නොපෙනෙන බලවේග හා ඉර හඳ වන්දනාමාන කරමින් සිටි අපට සසරෙහි දුක පසක් කරමින් බුදු දහමේ ආලෝකය පතිතවීමෙන් නව ජීවයක් ලැබුණේ මහින්දාගමනයත් සමඟය. ඊට රාජ අනුග්‍රහය ද නොඅඩුව ලැබීම වාසනාවකි. මිහිඳු මහා හිමියන් සිරිලකට වැඩම කිරීමෙන් පළමු දිනයේම අඳුරේ ගැලී සිටි රජු ඇතුළු රටවැසියන්ට දහම් දෙසනුු ලැබූහ. ප්‍රේතවත්ථු, විමානවත්ථු ආදී වශයෙන් දේශනා කොට මරණින් මතු ජීවිතයට සෙත සැළසූහ. මිහිඳු හිමියන් කැටුව වැඩම කළ පිරිස අතර ඉට්ඨිය, උට්ඨිය, සම්භල, භද්ධසාල, සුමන සාමනේර හා භණ්ඩුක උපාසක ද වූහ. පොසොන් සඳ මඬල අහසට නැඟ එද්දී සිරිලක ධරණි තලයම බුදු දහමේ ප්‍රභාවයෙන් ප්‍රභාමත් වුයේ එලෙස ය.

බුදු දහමේ පැහැද චිත්ත ප්‍රීතියට පත් රජතුමා මුළු රටවැසියන්ට ම මේ පණිවුඩය සන්නිවේදනය කරනු ලැබීය. රජ මාලිගා භූමියට රැස් වු පිරිසට ධර්මය ඇසීමට ඉඩකඩ ඇති ශාලාවක් නොවු නිසා රජතුමා ඇත්ගාල පිරිසුදු කොට ඒ සඳහා යොදාගත් බව ද කියවේ. ඊට පසු නිර්මාණශීලීන් යොදවා ගඩොල් කප්පවා ලහි ලහියේම ගොඩනැගිලි ඉදි කළ බවද පැවැසේ. ලහි ලහියේ පුළුස්සා ප්‍රයෝජනයට ගත් නිසා එම ගඩොල්වලින් බැඳි ප්‍රාසාදය කළු පැහැය ගත් නිසා එය “කාලා ප්‍රාසාදය” ලෙස හැඳින්වුණු බවද කියැවේ.

සිරිලකට බුදු දහම ලැබීමේ අතීත කතාව එලෙස වුවද එතැන් පටන් පොසොන් උත්සවය උත්කර්ෂයෙන් පැවැත්වීම අද දක්වා පැවැත එන්නකි. එහි නියමුවාණන් වූ මිහිඳු මහරහතන්වහන්සේගේ සම්ප්‍රාප්තිය නිබඳ සිහිපත් කරමින් බෞද්ධයන් වශයෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් හි නිරතවීම උළෙලේ අපේක්ෂාවයි. සෙත් පිරිත් සහ සිල් සුවඳ පුදබිම් ඔස්සේ දසත විහිදෙන්නේ පොසොන් බැතිය සියලු හදවත් තුළ වඩවමිනි. මිහින්තලය කේන්ද්‍රකොටගෙන බොහෝ සීල ව්‍යාපාර මෙන්ම දානාදි පින්කම් රාශියක් පැවැත්වීමට කටයුතු යෙදේ. දහම් අමාව වෑහෙන මිහින්තලා පව්ව විරාජමානව නැඟී සිටිමින් අදත් හෙටත් මතුවටත් අපට කියන්නේ ඒ මහා දහමේ අනුහසයි.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප-නිශ්ශංක විජේරත්න

දහම් අමාවෙන් නැහැවෙන පොසොන් මංගල්‍යය