පළාත - 
දකුණු පළාත

දිස්ත්‍රික්කය –
ගාල්ල

පරිපාලන නගරය - 
බෙන්තොට

භූමි ප්‍රමාණය - 
හෙක්ටයාර් 7450

සීමා - 
(උතුරින්) බෙන්තර ගඟ
(දකුණින්) කරන්දෙනිය හා බලපිටිය  
  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
(නැගෙනහිරෙන්) ඇල්පිටිය ප්‍රාදේශීය 
         ලේකම් කොට්ඨාස
 (බටහිරෙන්) ඉන්දියන් සාගරය  

ග්‍රාම සේවා වසම්-  
51

ප්‍රධාන ආර්ථික මාර්ගය-
සංචාරක, ධීවර හා කෘෂිකර්ම

ජනගහනය-
53668

 බෙන්තොට වූ කලී, දකුණු ලකට පිවිසීමේ ප්‍රධාන පිවිසුම ලෙසට හැඳින්වෙන ඵෙතිහාසික පුරවරයකි. පිහිටීම අනුව බෙන්තොට ගඟ ද ප්‍රදේශයට අලංකාරයක් එක්කරමින් සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට මහත් පිටුවහලක් ගෙන දෙන්නීය. අභ්‍යන්තර ජලාශ, කලපු හා දූපත්වලින් හෙබි බෙන්තොට බිම් ප්‍රදේශය සොබා දහමට    මනරම් සබැඳියාවක් එක් කරයි. කොට්ඨාසය තුළ පිහිටි ප්‍රධාන ජලාශය දේද්දූව      ජලාශය ලෙස ප්‍රකට ය. එයට අමතරව තවත් දූපත් රාශියක් පිහිටා ඇත. බෙන්තොට කලාපය සංචාරක කර්මාන්තයෙහි ලා ප්‍රමුඛ තැනක් ගනී. සුවිසල් නිවාඩු නිකේතන හා   හෝටල් ආදියෙන් මේ ප්‍රදේශය වඩාත් පොහොසත් ය. ඵෙතිහාසික වශයෙන් වඩාත්  වැදගත් පුදබිම්,වෙහෙර විහාරවලින් සැදුම්ලත් බෙන්තොට පෙදෙස සද්ධාතිස්ස රජසමය දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියයි.
බෝධි සමීප රජමහා විහාරය , වනවාස රජමහා විහාරය, ගනේ පුරාණ රජමහා විහාරය, බෝධිමළුව රජමහා විහාරය හා ගලපාත රජමහා විහාරය ආදී ඉපරැණි පුදබිම් ඒ අතර සුවිශේෂ වේ. ඈත අතීතයේ දී මෙම විහාර 05 සම්බන්ධ කරමින් යා හැකි උමං මාර්ගයක් තිබු බවට ඵෙතිහාසික වශයෙන් සාක්ෂි පවතී.
දුටුගැමුණු රජුගේ සොයුරු වූ සද්ධාතිස්ස රජු තම සේනා සංවිධානය කිරීමේ දී මෙම ප්‍රදේශයේ රැඳී සිටී බවට ජනප්‍රවාදයේ එයි. එලෙස සෙබළුන් රඳවා සිටී ස්ථානය කයිකාවල නැමැති ප්‍රදේශයේ තිබී ඇතැයි සැලැකේ. 
නාගරික හා අර්ධ නාගරික ග්‍රාමීය ලක්ෂණ පෙන්නුම් කරන කොට්ඨාසයේ ජනතාවගේ ප්‍රධාන රැකියාව ලෙස කෘෂිකර්මික හා ප්‍රාථමික අංශයේ රැකියාවල නිරත වී සිටියි. තේ, රබර්. පොල්, හා කරුඳු වගාව ප්‍රධාන කෘෂිකාර්මික භෝග වේ. වී වගාව හා අනෙකුත් භෝග වගාවන් ද දක්නට ලැබේ. ගෘහ හා කුඩා කර්මාන්ත වශයෙන් ව්‍යාප්තියක් බැලු බැල්මට පෙනී යයි. පන් හා වැටකෙයියා ආශ්‍රිත      නිෂ්පාදනවලට ද නැඹුරුවක් මෙහි දක්නට ඇත. 
සංචාරක කර්මාන්තයෙහිලා බෙන්තොට වෙරළ තීරය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසිද්ධියක් උසුලයි. සොබා දහමේ දායාදයන් හා එක්ව සොඳුරු දසුන් මවන බෙන්තොට ගත සිත සනසන පාරාදීසයකට උරුමයක් ඇත.මෙවන් පසුබිමක් සහිත බෙන්තොට පිළිබඳව මෙවර අපේ සංචාරය දිග හැරේ.

Location name: 

Bentota(බෙන්තොට)