නිදහස යනු මෙලොව කවුරුත් බුක්ති විඳීමට පි‍්‍රය කරන ජිවිත අපේක්ෂාවකි. නිදහස යන්න විමසු විට ඒවා නන් වැදෑරුම් වේ. දඟගෙයි සිරකළ මිනිසකු ඉන් නිදහස ලබන දින වනතුරු ඇඟිලි ගනිමින් ගත කරයි. රැහැනින් බැඳ තැබු සතකු ඉන් මිදෙනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. කුඩුවක සිරකළ පක්ෂියකු අහසේ පියඹායන්නට පෙරුම් පුරයි. 
යටත් විජිත යුගයේ දී තවත් ජාතියක් විසින් යටත් කරගනු ලැබ නිදහස අහිමි කළ ජාතියක සංවේගය කෙබඳු ද? ඉංග්‍රිසීන් විසින් සිරිලක යටත් කරගනු ලැබු දා  සිට 1815 දී එතෙක් යටත් නොවු කන්ද උඩරට බලය ද අල්වාගෙන මුළු සිරිලකම ඔවුන්ගේ ආධිපත්‍යයට ගනු ලැබීය. එතැන් පටන් ලක්වැසියන්ගේ ජීවිත ක්‍රියාත්මක  වුයේ  ඔවුන්ට ඕන විදිහට නොවේ. වසර ගණනාවක් මුල් බැසගත් ඉංගී‍්‍රසි පාලනයෙන් මිදී 1948 පෙබරවාරී 04 වැනි දින සිරිලකට නිදහසේ අරුණළු පතිත වන්නේ නිදහසට අරුතක් දෙමිනි. සිංහල ජාතියට, ශ්‍රී ලංකා ද්වීපයට යළි දෙපයින් නැගී සිටීමේ උරුමය හිමිවන්නේ එතැන් පටන් ය. බ්‍රිතාන්‍ය   ක්‍රමයෙන් මිදී නියම නිදහස අපට හිමිවන්නේ එලෙස ය. 
නිදහස් ශ්‍රී ලංකාවේ මුල්ම අගමැතිවරයා වන්නේ දේශමාන්‍ය ඩී.ඇස්. සේනානයක ශ්‍රීමතාණන් ය. කොළඹ 07, කුරුඳුවත්තේ නිදහස් මාවතේ, නිදහස් චතුරශ්‍රය ගොඩනැගෙන්නේ නිදහසේ සන්තුෂ්ටිය කේන්ද්‍රකොට ගනිමිනි. ජාතියේ පියා නමින් විරුධාවලීලත් ඩී.ඇස්. මැතිඳුන්ගේ තේජමාන පිළිරුව එතැනින් නැඟී සිට පෙරමඟ බලාසිටින්නේ නිදහසේ අරුමය කියාපාමිනි. 
පරාදීන යුගයක සිට අදීනව නැගී සිටිමින් වසරක් පාසා නිදහස උත්කර්ෂවත් ලෙස සැමරීමට අප සියල්ලෝම පාහේ සුදානම් ය. අප මෙවර සමරන්නේ 69 වැනි නිදහස් සැමරුම් උලෙළ ය. නිදහස් චතුරශ්‍රය කේන්ද්‍රකොට ගනිමින් සිරිලක බොහෝ පළාත්වල නිදහස් උත්සව පැවැත්වෙනු දැකිය හැකි ය. සිංහල ජාතියේ අනන්‍යතාව වූ සිංහයා, අභිමානයෙන් නිදහස් මන්දිරය අභිමුවේ බලා සිටින්නේ අතීතය දෙස ද නෙත් හෙළාගෙන ය. සෑම වසරක ම පෙබරවාරි 04 වැනි දින එකී නිදහස සියලු පුරවැසියන් විසින් ම බුක්ති විඳින්නේ මහත් අභිමානයෙන් යුතුව ය. 

නන්දි අලුත්ගේ රත්නවීර 
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

නිදහසට අරුතක් දෙන නිදහසේ උදානය