පිහිටීම - ගාල්ල දිස්ත්‍රික්කයේ , උඩුගම.

ගමන් මාර්ගය - ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 16ක් දෙසට ගිය විට මෙහි ළගා විය හැකියි.

විශේෂත්වය - සිහිලැල් තුරු වියන් සහිත වනෝද්‍යානයකි.

 

හිරු කිරණ තවමත් සිප ගන්නේ තුරු මුදුන් අගිසි ය. ළපටිම ළපටි පත්‍ර ලා කොළ පැහැයෙන් දිස්න දෙන්නේ ඒ පත්‍ර අග රැඳි පිණි බිඳුවල බර ද දරා ගනිමිනි. අරුණාලෝකය කෙමෙන් කෙමෙන් මිහිමතට වැටෙන්නට පටන් ගත්තා පමණකි. සනීපවත් මඳ සුළඟ ඇගේ හිරි ගඬු පුප්පවමින් හමා ගියේ තුරුලතා වලට නොරිදෙන පරිද්දෙනි. වස්සාන සමය නිසාම ගස් කොළන් මලින් පලින් හා පත්‍රවලින් බර ය. සශ්‍රීක ය. තබන අඩිය මඳක් පොළවේ එබෙන තරමට පොළොව තෙතමනයෙන් යුතුය.

තවමත් කුරුලු කූජන ආරම්භ වුයේ නැත. ඉඳහිට ඇසෙන පොල් කිච්චාගේ ළයාන්විත ගී නාදයත් ඊට සිහින් රාවයෙන් පිළිතුරු බඳින ශෝකී සුමිහිරි ගී හඬත් ඇරෙන්නට කුරුලු ලොව සාමාජිකයන් තවමත් කලබලයෙන් තොරය. දහවල තම නිදන තැන සොයනා වවුල්ලු ඉඳහිට මඟවැරදී නැවත කලබලයෙන් පියඹා යති. අරුණලෝකය උස ම තුරු අගින් එබී තැනින් තැන තම අණසකට යට කරගන්නට යත්න දරයි.

සිහිල් සීගතුව දරාගෙන ම තුරුවියන යටින් මම චිරි චිරි හඬින් පෑගෙන මඬවල සනීප පහස විඳිමින් වනය ඇතුළට ඇවිද යන්නෙමි. මහපොළාව මා පය පහස දරා ගන්නේ අසීමිත සෙනෙහසකින් යුතුව බැව් දෙපතුළට දැනේ. සිත පුරා පැවැති කලබලය, නොසන්සුන් බව මහවනය පවරා ගත්තාක් වැනිය. නිහඬ ශාන්ත බවකින් කය වෙළී යයි. ජීවිතය දැනෙන්ට පටන් ගන්නේ මේවැනි වන අසිරියක පහස විඳිද්දී නොවේද? මසිත විමසයි.

මෙවර මා ඔබ කැඳවාගෙන යන අසිරිමත් සොබාදම් නිමැවුම පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මාර්ගයේය. ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 16ක් ගිය තැන මේ පහතරට සදාහරිත වනාන්තරය හමු වේ. අද අප සහහන, සිහිල බෙදෙන සොඳුරු සොබාදම් නවාතැනක් වන මේ කොට්ටව රක්ෂිත වනාන්තරය දෙවන ලෝක සමයේ පැවැතියේ බ්‍රිටිෂ් එම්පයර් (ඕපඪබඪඵඩ ඡ්ථනඪපඥ) නම් යුද මෙහෙයුම් ආරක්ෂක මූලස්ථානය ලෙසයි. මෙය වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද්දේ 1930 වසරේදීය. සිංහරාජයේම කොටසක් ව තිබූ මෙහි වනගහනය වරින්වර කැබලි වී බෙදී ගොස් කුඩා වී දැනට ඇත්තේ අක්කර 37 ක් පමණි.

එකිනෙකට වෙළී වියනක් ව හිරු කිරණ මිහිතලය මතට වැටීම වළක්වන තුරු ලතාවෝ වනයට එක්කරන සිසිලස නිසාම කොට්ටව වනයට වැදෙන කිසිවකුට කාලවේලාව ගතවනු දැනෙන්නේ නැත. උදෑසන අට පමණ වන විට පතිතවන ගන හිරු රැස් ගැන හාංකවිසියක් හෝ නොදැන අපි අඩඅඳුරු වනපෙතේ සුන්දරත්වය විඳිමින් සිටින්නෙමු.

කොට්ටව වන පෙතට ඇතුළුවන ඔබට මඳ දුරක් ගිය ඉනික්බිති විවිධ දිශාවන්ට විහිදුණු කුඩා මංපෙත් කිහිපයක් හමු වේ. නිල පැහැයෙන් බබළන වෘක්ෂලතා වියන ඔස්සේ ඈතට දිව යන, කැලයේ අසිරියම නරඹන්නට පැමිණෙන්නන් වෙනුවෙන් එහි එක් මඟක් වෙන් වී ඇත. තව මඟක් වෙන් වනුයේ තේ වගාවක් වෙතය.

පහතරට නැවුම් තේ දලු නරඹන්නට යන්නට ඒ මඟ ඔස්සේ ඔබට හැකිය. කොට්ටව කැලය ආසන්නයේම තේ පර්යේෂණායතනය පිහිටා තිබීම ද සංචාරකයන්ට කදිම අත්දැකීමක් එක් කරයි.

මෙහි පිහිටා ඇති අනෙක් මාර්ගය වෙන්වනුයේ ස්වභාවික ජල තටාකය වෙතය. සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට පාත්‍රවන ස්ථානය මෙයයි. දෙස් විදෙස් සංචාරකයන් බහුල වශයෙන් කොට්ටව කැලය වෙත එන්නේ මේ තටාකයේ ගිලී දිය නැම සඳහාය.

කොට්ටව කැලය කුරුල්ලන් පි‍්‍රයකරන ඔබට කුරුලු පාරාදීසයකි. ටිකෙන් ටික ඉර මුදුන් වෙද්දී කලබලයෙන් සරන කුරුල්ලන්ගේ නෙක නාද රටා වලින් මුළු වනයම පිරෙයි. තියුණු නාද, සිහින් ගීතවත් නාද, සුසුම් ලෑම්, කෙදිරි ගෑම් පමණක් නොව තම පෙම්බරිය වෙනුවෙන් ගී ගයන කුරුල්ලන්ගේ අපුරු ළයාන්විත ගී මේ වනයට ආගන්තුක නොවේ. මේ දිනවල ලංකාවට සංචාරය පිණිස පැමිණ සිටින නිල් බිඟුහරයා මෙහි බහුලවම දක්නට ලැබේ. ඊට අමතරව අළු කෑදැත්තන්, කොට්ටෛීරුවන්, අළු ගිරවුන්, පිළිහුඩු වර්ග හතරම, කළු කොණ්ඩයා, සැළලිහිණියා, බටගොයා උලමා, බකමුණා, හබන් කුකුළා මෙන්ම වලි කුකුළා ද කොට්ටව වනයට ආගන්තුක නොවේ.

කොට්ටව කැලයේ තැනින් තැන ගලා බසින කුඩා දිය දහරා හි විවිධ මත්ස්‍ය වර්ග ද වාසය කරති. දණ්ඩියා, බුලත් හපයා, හඳයා ඇතුළු මත්ස්‍ය වර්ග කිහිපයක් ම මෙහි නිත්‍ය වාසීන්ය.

පහතරට තෙත් කලාපීය සදාහරිත බව රැකෙන්නේ විවිධ උඩවැඩියා, මීමන ආදී ශෘක විසින් වියන ලද උඩුවියන හේතුවෙනි. ඒවා කැලයට එක්කරන අලංකාරය සිතා ගැනීමට නොහැකිය. නෙක තුරුලතා කොට්ටව වනයට එක්කරන මිහිරියාව, සදාහරිත බව අම්ලය.

හිරු බැස යන්නට සුදානම්ව රාස්සිගේ අව්ව තුරු වියන යටින් තැනින් තැන වැටෙන්නට විණි. එතරම් වේලාවක් කොට්ටව කැලයේ ගත කළා දැයි සිතේ. ජල තටාකයෙන් සිහිල් වූ ගත තවමත් නැවුම්ය; පිවිතුරුය. ඔබ මෙතෙක් කල් මේ සොඳුරු වනපියසට ගොස් නැත්තම් මේ එහි යන්නට සුදුසුම කාලයයි. ඔබේ දුක් දෝමනස්ස කොට්ටව කැලයේ අනන්ත අප්‍රමාණ තුරු වියනෙන් නැඟෙන සැනහිල්ලට පවරා ඔබේ සිත නිදහස් කරන්නට මේ සුදුසුම ස්ථානයයි. අමතක කරන්න එපා, ඔබ ගෙන යන පොලිතීන් හා අපද්‍රව්‍ය නැවත රැගෙන එන්නටත්, ඔබේ පියසටහන් පමණක් එහි තබා එන්නටත්.

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

වැඩි දුර තොරතුරු මිහිතුරු සඟරාවෙන්............

Location name: 

සොබා දහමේ නිකැලැල් තිළිණය කොට්ටව වන අරණ