විශේෂත්වය - යතුරු පැදි සංචාරයකි.

ගමනාන්තය - කොලොන්නාව සිට කඩුවෙල, අවිස්සාවේල්ල, රත්නපුරය පසු කොට ඇඹිලිපිටියේ සංඛපාල විහාරය හා වවුල්පනේ ගල් ගුහා දක්වා

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය -ඇඹිලිපිටිය

අප සංචාරයේ ආරම්භය වූයේ කොලොන්නාව යි. අලුයම 3.45 ට ගමන ආරම්භ විය. සංචාරයට එක් වූ ගණන 4 කි. පා පැදි ද 4 කි. සංචාරයට පෙර දින පා පැදිවල තත්ත්වය ද පරීක්ෂාවකට ලක් කරගත්තෙමු. වර්ෂා සහිත කාලයක් බැවින් වර්ෂාවට හසුවුවහොත් එයට ද මුහුණ දීමට අවශ්‍ය වැසි කබා ආදිය ද සකසා ගත්තෙමු. සෙනසුරාදා දිනයක් වූ බැවින් රථ වාහනද අඩු ය. මහාමාර්ගය ද නිදහස් ය. විටින් විට ඉදිරියෙන් පැමිණෙන වාහන කිහිපයක් හැරෙන්නට අලුයම ගමනට වෙනත් කිසිදු බාධාවක් නොවීය. තරමක වේගයෙන් ගමන් ගත් අප මාර්ගය වූයේ කොළඹ රත්නපුර පරණ පාර ය. කඩුවෙලට පැමිණෙන තෙක් මාර්ගය තරමක් අබලන් ය. එම නිසා වැඩි වේගයකින් ගමන් කළ නොහැකිය. කඩුවෙල පසුවත්ම අප වේගය වැඩි කළෙමු. නමුත් අපේ ආරක්ෂාව පතා රේස් නොයාමට වගබලා ගත්තෙමු. පෙර දින වැස්ස නිසා ජලයෙන් තෙත බරිත වූ සුළග මද සීතලක් ගෙන දුන්න ද සුවදායක ය. ගමන් ගන්නා දෙපස පිහිටි සියලු ප්‍රදේශ තවමත් නින්දේය. තැනින් තැන බස් නැවතුම් හි කොළඹට දෙසට ගමන් කිරීමට බසයක් බලාපොරොත්තුවෙන් සිටි මගීන් ද කිහිපදෙනෙක් දකින්නට ලැබිණ.

සීතල සුළං පහර කපා ගෙන අප ක්‍රමයෙන් අවිස්සාවේල්ල පසු කළෙමු. අවිස්සාවේල්ල පසු කිරීමට අපට ගත වූයේ පැය එකහමාරට අඩු වේලාවකි. අවිස්සාවේල්ලෙන් පසුව රත්නපුරය පසු කළේ උදෑසන හයයි තිහට පමණ ය. පෙර දින මහා වැස්ස ද සෙනසුරාදා දිනය ද නිසා කලබලකාරී රත්නපුර නගරය තවමත් නින්දේය. තැනින් තැන විවෘත කරමින් පවතින හෝටල් කිහිපයක් හැරෙන්නට නගරය ද තවමත් නින්දේය.

තරමක කුසගින්නක් ද දැනෙන්නට වීම හේතුවෙන් ද පා පැදිවලට මද විවේකයක් ලබාදීම සඳහා ද කුඩා තේ කඩයක් වෙත අප ගොඩවූයේ තේ පානය සඳහා ය. පෙර දින වර්ෂාව නිසා සීතල වුණු පරිසරය ද ඒ වනවිට ඇද හැලෙමින් තිබුණු හිරි පොද ද අපගේ කුසගින්න තවතවත් වැඩි කරන්නට විය. වියපත් යුවලක් පවත්වාගෙන යන එම කුඩා ආපන ශාලාව පිරිසුදු ය, පිළිවෙළ ය. කුසගින්නේ හෝටලයට වැදුණු අපගේ නෙත යොමු වූයේ උණු උණු රොටී වෙත ය. වහා මේසයකට වටවුණු අප වෙත ගෙන ආවේ උණු උණු රොටී සහ ලුණු මිරිස් ය. කොච්චි දමා පදමට ‍උම්බලකඩ ද දමා වංගෙඩියේ කොටන ලද ලුණු මිරිස ගතේ වූ සීතල කපා හැරියේ ය. රොටී කා ඉඟුරු තේ කෝප්පයක් පානය කළ අප නැවත ගමනට එක් වුයෙමු.

පොද වැස්ස තාමත් එසේම ය. පාරත් තරමක් ලිස්සන සුළු ය. වංගු සහිත ය. කි.මි. 140 ක් පමණ දුරින් වූ අපගේ පළමු ගමනාන්තය වූ සංඛපාල විහාරය වෙත ළගා වන විට පෙ.ව. 7 ද පසු විය. ප්‍රදේශය තවමත් නිසංසල ය. මහා රූස්ස ගස් අතරින් පොළොවට වැටෙන හිරු රැස් මනරම් දර්ශනයක් මවයි. කොළඹින් පිටත් වී පැය ගණනාවක් වුවද ගතට සිතට කිසිදු වෙහෙසක් මහන්සියක් නොදැනෙන තරම් ය. එතරම් ගමන රසවත් ය. සිත නිවන සුළු ය.

සංඛපාල ඓතිහාසික පුද බිම ඇඹිලිපිටිය ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් වන අතර යුග දෙකක ලක්ෂණ දැකිය හැකි විහාර සංකීර්ණයකි. අනුරාධපුර යුගය සහ මහනුවර යුගවල ලක්ෂණ දැකිය හැකි සංඛාපාල විහාර පුද බිම වටා ගෙතුණු කතා බොහොමයකි.

කොළඹ - ඇඹිලිපිටිය පරණ පාරේ කතරගම, උඩවලව, මොණරාගල දක්වා යන වන්දනාකරුවන්ගේ සංචාරකයන්ගේ සුවිශේෂී නැරඹුන් ස්ථානයක් සහ පූජනීය බුහුමනට ලක්වන සංඛපාල විහාරය උදෑසන දර්ශනය චමත්කාර ය. හදිසියේ නොව බොහෝ සෙමින් නරඹා සිත් සතන් පහදවා ගත යුතු සහ අපේ උරුමයන් දැක බලා තොරතුරු දැනගැනීමට නම් දෙපැයකට වඩා වැඩි කාලයක් මෙම පුද බිමේ ගත කළ යුතුය.

සංඛපාල ගල මුදුනට නැග විට අවට පරිසරය දිස්වන්නේ එකම වනාන්තරයක් සේය. ඈතින් හිරු රැස් පොළොවට පතිතවන දර්ශනය සුන්දර ය. සංඛපාල පුද බිමට ඇතුළු වන දෙපස වෙළඳාමේ යෙදෙන පිරිස් බොහෝ ය. බෙලි මල් කෝප්පයේ සිට බොහෝ දෑ මෙම වෙළඳ සැල්වල විකිණෙති. කදු මුදුන්වලට නැග තරමක මහන්සිය නිසා ගත සිත නිවාගැනීමට සීනි හකුරු කෑල්ලක් සමඟ උණුසුම් බෙලිමල් කෝප්පයක් රසබලමින් අප සමඟ කතා බහට වැටුණු කඩ හිමියා පැවසුවේ උත්සවය සමයේ සහ සති අන්තයේ හැරෙන්නට අනෙක් දිනවල සැළකිය යුතු මුදලක් උපයා ගැනීම අසීරු බවයි.

සංඛපාල විහාරය නමැද එතැනින් පිටත් වුණු අපගේ මී ළඟ ගමනාන්තය වූයේ කිලෝමීටර කිහිපයක දුරින් පිහිටි වවුල්පනේ ගුහාවයි. පල්ලෙබැද්ද තුංතොට හංදියෙන් හැරී කිලෝමීටර දහයක් පමණ ඉදිරියට ගමන් කළ යුතුය. වවුල්පනේ හුණු ගල් ගුහාව නැරඹීමට යාම අභියෝගයක් යැයි පෙර සඳහන් කළේ එය අභ්‍යන්තරයටම ගොස් නැරඹීට අදහස් කරන්නේ නම් ඒ සඳහා ගෙන සූදානම් වී යා යුතු නිසා ය. එසේ නොමැති වුවහොත් ඔබට මුදල් වියදම් කර අවශ්‍ය උපකරණ සහ ආවරණ මිලදී ගැනීමට සිදුවන නිසාය. විදුලි පන්දමක්. බීමට ජලය, අත්දිග කමිසයක් සහ දිගු කලිසමක්, හිස් වැස්මක්, සබන් තුවා අමතර ඇඳුම් ගෙන යා යුතුම ය. අත්දිග කමිසය සහ කලිසම සහ හිස්වැස්ම වවුලන්ගේ වසුරුවලින් සහ ගුහාවේ ඇති මැක්කන්ගෙන් ආරක්ෂා වීමට ය. ගුහාව අභ්‍යන්තරය අඳුර නිසා එය තුළ මනාව නිරීක්ෂණය කිරීමට විදුලි පන්දුමක් අත්‍යවශ්‍ය ය. ගුහාවේ එල්ලී සිටින දහස් ගණන් වවුලන්ගේ වසුරුවලින් නෑමට සිදුවන අතර එළියට පැමිණි පසු ඒ අවට පිහිටි පිහිල්ලෙන් හෝ හල්විනි ඔයේ ඉහළ කොටසේ ඇති නාන තොටුපලෙන් නා ගැනීමට හැකිය.

මුළුමණින්ම හරිත පරිසරයක කෙරෙන සංචාරයක් වන වවුල්පනේ හුණුගල් ගුහා සංචාරය වවුලන් නැරඹීමට අමතරව එහි ඇති පරිසරය හා ඓතිහාසික සහ පාෂාණමය වටිනාකම් ද දැනුම්වත් වීම වටී. එසේම ඔබ කැරපොත්තන්ට, මැක්කන්ගේ සම සිදුරුකර ගෙන ප්‍රහාරයන්ට සහ වෙනත් කෘමීන් ද මෙන්ම වවුල් වසුරුවලට අපුලක් දක්වන්නේ නම් ගුහා ද්වාරයන් සහ පරිසර ගවේෂණයකින් ඔබේ වවුල්පනේ ගුහා සංචාරය නිම කිරීමට සිදුවනවා ඇත.

හුණුගල් ගුහාවලට ළගාවීමට ප්‍රථම හමුවන අවසන් කඩමණ්ඩිය වවුල්පනේ ග්‍රාමයේ කඩමණ්ඩිය යි. එහිදී ඔබගේ අඩුපාඩු හෝ ගෙන ඒමට අමතක වූ භාණ්ඩ මෙම කඩමණ්ඩියෙන් ලබාගත හැකි අතර සංචාරයට අවැසි අත්‍යවශ්‍යම භාණ්ඩ මිලදී ගත හැකිය. වවුල්පනේට පළමුවරට යන්නේනම් සංචාරක මගපෙන්වන්නකු සහායට ගැනීමට යෝජනා කරමි. කළ යුතු දේ නොකළ යුතු දේ සේම නැරඹිය යුතු සියලු දේ ඔහු විසින් මනාව පෙන්වා දෙනු ඇත.

අවුරුදු බිලියන 500 ක් පමණ පැරණි බවට පිළිගැනෙන මෙම හුණුගල් ගුහාව මඩුහේන්යාය රජයේ වන රක්ෂිතයට අයත් මෙම පරිසරය තුළ වර්ග සැතපුම් 20 ක පමණ දේශයක හුණුගල පැතිර පවතී. මෙම වන රක්ෂි‍තය තුළ විවිධ වෘක්ෂලතාවන් මෙන්ම ආවේණික සත්ත්ව විශේෂ ද හඳුනා ගත හැකි අතර වටිනා ඖෂධ පැලෑටි ද වෙයි. හුණුගල් ගුහාව පර්වතය මතු පිට පිහිටි කහ පැහැති කිවුල් දිය උල්පතකි. මෙම උල්පත කුඩා වුවත් ජලය අමුතු කහ පැහැයක් ගනිමින් හුණුගල් ගුහාවට ඇතුළු වේ. මේ ජලය මේ අන්දමින් කහ පැහැ ගැන්වී ඇත්තේ කැල්සියම් කාබනේට්, අයන් හයිඩ්සයිඩ්, මැග්නීසියම් වැනි ඛනිජ වර්ග මෙම ජලයෙහි අන්තර්ගත වන බැවිනි. සබන් ගෑමෙන් තොරව මෙහි දිය නෑමෙන් චර්ම රෝග සුවපත් වන බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. මෙම ජල දහර හුණුගල් ගුහාව තුළට වැටෙන්නේ හුණුගල් ගුහාව තුළ දිය ඇල්ලක් නිර්මාණය කරමිනි. ප්‍රධාන හුණුගල් ගුහාව සහ තවත් හුණුගල් ගුහා 12 කින් සමන්විත වන ගුහා අභ්‍යන්තරය ඝන අන්ධකාරය පැතිරී තිබේ. හුණුගල් ගුහාව තුළ තැනින් තැන දිය පාරවල් ද දැකිය හැකියි. විවිධ ඛනිජ වර්ග මිශ්‍ර වීම නිසා සිදුවන ප්‍රතිකි‍්‍රයා නිසා මැවුණු සුන්දර දර්ශනයක් ගුහා තුළ දක්නට ලැබෙයි.

හිරු බැස යාම යාන්තමින් ඇරඹුණා පමණි. උදෑසන නිසංසලව තිබූ මග කාර්ය බහුලය. කිලෝමීටර එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ආපසු පැමිණිය යුතුය. වෙහෙසකර ගතියක් දැනුණ ද සංචාරය කිරීමෙන් සිතට දැණුනු සතුට එම වෙහෙස අමතකර දැමීය. වවුල්පනේ හුණුගල් ගුහාවට ආයුබෝවන් කී අප ඇඹිලිපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසියේ නැවතත් හැකි ඉක්මණින් මෙවන් සංචාරයක නියැලෙන්නට සිතින් සැලසුම් කරමිනි.

 

වැඩි දුර තොරතුරු මිහිතුරු සඟරාවෙන්............

 

පී.කේ. බණ්ඩාර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

සංඛපාල පුදබිම වැද වවුල්පනේට ගිය රෝද දෙකේ සංචාරය