පිහිටීම - බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් බෙල්ලන්ගල රක්ෂිතයට මායිම්ව පිහිටයි.

මාර්ගය -

1.බළන්ගොඩ කල්තොට මාර්ගයේ දී හමුවන බෙල්ලන්බැඳි පැලැස්ස ගම්මානයේ 16 වන සැතපුම් කණුව අසළින් වම් පසට දිවෙන මාර්ගයේ ගමන් කළ විට හමු වේ.

2.බළන්ගොඩ කල්තොට මාර්ගයේ මැදබද්ද ඔස්සේ ඉලුක් පැලැස්සට වම් පසින් දිවෙන මාර්ගයේ ටික දුරක් ගිය විට දී දූවිලි ඇල්ල හමු වේ.

 

සබරගමුව කඳු හෙල් මැදින් නැඟෙනහිරට ගලා යන වලවේ ගංඟා මව් තුරුලෙන් ජනිතවන මේ සුන්දර ළදැරිය සොබාදම් දිනිතියගේ දයාදයකි.

සෙමෙන් ශාන්තව ගලන මේ ගංඟාවෙහි ගල් කුළු අතර සුදෝ සුදු පෙණ පිඬු නංවමින් කල්තොටදී පහළට කඩා හැලෙන ජල දහරින් විසර යන දිය බිඳිති දුවිලි වලාවන් මවන්නීය. දුහුවිල්ල යන අරුතින් දුවිලි ඇල්ල යන ඇල්ල ලෙස නම් දරණ මේ දිය ඇල්ල ශ්‍රී සුමන සමන් දෙවියන් විසින් මවන ලද්දකැයි ගැමියන්ගේ විශ්වාසය යි.

මීටර් 39ක් පමණ උසකින් යුත් මේ දුවිලි ඇල්ලෙන් දසත විසිරෙන දිය බිඳු එකිනෙක එක්ව සෑදීමෙන් මවන දුවිලි වලාවන් චමත්කාර ජනක ය.

පරිසරවේදීන්ට අනුව සිරිලක දුවිලි ඇල්ල නමින් හඳුන්වන දිය ඇලි කිහිපයකි. ඒවා අතරින් සුන්දරත්වයෙන් අනූණ අගතැන්පත් දිය ඇල්ලක් ලෙස පෙරමුණ ගන්නේ කල්තොට දී පහළට හැලෙන මේ දුවිලි ඇල්ලයි.

ඇල්ල පිහිටි ප්‍රදේශයට ඉහළ බිම් පෙදෙස අයත් වන්නේ සමනල වැව රක්ෂිතයට වීම ද විශේෂත්වයකි. ප්‍රථම වරට මෙම දිය ඇල්ල සබරගමු පළාතේ ඇතුන් බැලීමේ යෙදුණ ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයෙකු විසින් සොයාගත් බව පැවසේ. ඇල්ලේ පිවිසුම් මාර්ගය තරමක් දුෂ්කර වුවත් එය වැටී ඇත්තේ නීල වර්ණ තුරු හිසින් සැදුම් ලත් වන බිමක් මැදිනි. මුල් කාලයේදී අඩි පාරක් ඔස්සේ ඇල්ල වෙත යා යුතු වුව ද අද වන විට දේශීය සංචාරක ව්‍යාපාරයේ පුනරුදයක් සමඟම ඇල්ල නැරඹීමට එන සංචාරකයින්ට තාවකාලික නවාතැන් පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පවා ගොඩ නැඟී ඇත.

වන බිමක ඇති සිසිලස සහ සෙවණ අපමණය. ගල් කුළු මතින් පැන දුවිලි ඇල්ල නැරැඹීම අවදානම් ය. එනමුත් එම දුෂ්කර ගමන අවසන අපට මුණ ගැසෙන්නේ හාත්පස නින්නාද දෙමින් සිසිලස නංවමින් ගලා හැලෙන නෙත් කළු දසුන් මවන්නියකි.

දුවිලි ඇල්ල හා බැඳුණු ජනප්‍රවාද හා ජනකතා රැසකි. ඇල්ල පාමුල ජලාවාටයෙහි රන්තෝඩු පැලැඳි ආඳෙක් හා රන් පුහුලක් ඇති බව කියැවේ.

“රන් පුහුල් වල” නමින් ජලතටාකය නම් පට බැඳෙන්නට ඇත්තේ මේ කතාව පාදක කරගෙන විය හැකිය. දුරාතිතයේ විසූ රජ කුමරෙකු පර සතුරන් හා යුද වැදීමේ දී කුමරුගේ රාජාභරණ දුවිලි ඇල්ලේ ගල් කුහරයට සැඟ වූ බවද ජනප්‍රවාදයේ එයි. මෙය පදනම් කොට ගනිමින් “ඈපා කුමාරයාගේ වල “සහ” රන් ආයුධ වල” යන නම් නිර්මාණය වී ඇතැයි සිතිය හැකියි.

තවත් අපුරු ජනප්‍රවාදයක් ගෙතී ඇත්තේ මේ ඇල්ල ආශි‍්‍රතව විසූ වැද්දෙකු හා සම්බන්ධව යි. වලවේ ගඟේ ජලමට්ටම ඉහළ ගොස් ගඟ දෙගොඩ තළා යයි නම් හෝ නියන් කාලයක් හේතුවෙන් මේ ප්‍රදේශවාසීන් පීඩාවට පත්වන්නට ඉඩ ඇත්තම් හෝ ඒ බව මේ වැද්දා විසින් දුවිලි ඇල්ල අසල ගල් පුවරුවක කලින්ම සටහන් කළ බව පැවැසෙයි.

දුවිලි ඇල්ල පහළින් ගඟෙන් එහා මෙහා යෑමට දඬු මංකඩ සහ උගුල් මංකඩ තනා තිබු බව සඳහන් ය. එයින් උගුල් මංකඩ විස්මය ජනක ය. ගඟ මැද ගලක් විද ඊට සවිමත් නැමෙන සුලු රිටක් සිටුවා රිට පහත් කර රිටි පිම්මක් සේ එගොඩට පැන ඇත. ගඟ කුළු අතරින් පහළට හැලෙනා මේ දිය ඇල්ලෙහි තවත් ලක්ෂණයක් වන්නේ ඇල්ල මට්ටමේ සිටම ඇල්ල නැරඹිය හැකි ස්වභාවික නැරැඹුම් පීඨිකාවක් සහිත වීම ය.

මේ සුන්දරත්වය පිටුපස සැඟවුණු අන්තරාවක් ද ඇති බව අප සිහිතබා ගත යුතුය. ගලින් ගලට පැන දුවිලි විසිරෙන වලා අතර ඇති සිසිලස විඳින්නට ගන්නා උත්සාහය අතරේ එහි මතක සටහන් පමණක් රැගෙන ආපසු පියවර මනින්නට අප සිහි තබා ගත යුතුය.

බුද්ධික එස්. රත්නායක

ටෙක්ලා චාන්දනී

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

ශබ්ද ගිගුම් දෙන දූවිලි ඇල්ල