පිහිටිම - බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කොරළයේ නවගමුවේ පිහිටයි

ගමන් මාර්ගය - කොළඹ - අවිස්සාවෙල්ල පරණ පාරේ කඩුවෙල සිට 3 ම්ථ ගිය පසු මෙහි ළඟා විය හැකියි.

විශේෂත්වය - පත්තිනි දෙවියන්ට ඇප කැප වුණු දෙවොලකි

කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ කඩුවෙල සිට කි.මි 3 ක් පමණ දුර ගෙවා ගිය පසු මේ ඉපැරැණි අනුහස් පුදබිමට ළඟා විය හැකිය. ඒ හැර තවත් මාර්ග කිහිපයක් ම මේ පුදබිමට ළඟා වීමට හැකියාව ඇත. සිරිලක පුරාම විවිධ පුණ්‍ය භූමි තුළ පත්තිනි දෙවියන්ට කැප වූ පුදබිම් ඇතත් නවගමුව දේවාල පුදබිම ඒ සියල්ලටම වඩා ජනතාවගේ හදවත් තුළ ජීවමාන වෙමින් තිබෙන බව සැබෑවය. නවගමුව පත්තින් දේවාලය පත්තිනි මෑණියන් ජීවමානව වැඩ සිටි බවට පුරාවෘත්තවල සඳහන්ව තිබේ. ඒ නිසාමදෝ දුකට පත් බැතිමතුන්ගේ සිත් දවන කිනම් හෝ ගැටලුකාරී ප්‍රශ්නවලට සෙත සැලසීම මේ පුදබිමේ අනුහස ය. සතියේ දිනවලදී මෙන්ම කෙම්මුර දිනවලදී මේ පුදබිම පිරී ඉතිරි යන්නේ සුදෝ සුදුවතින් සැරසුණු බැතිමතුන්ගෙන් වීම විශේෂය. නිල්වන්පත් සලා සුව පහසු සෙවණත් සඳහා බෝධිරාජයා මෙන්ම රෝස පැහැති දලුපත් සලා සුළඟට සිරිසිරිය නංවන නා සෙවණේ පහස ලබන ඉපැරුණි පත්තිනි දෙවොලත් හදවතට ගෙන එන්නේ අප්‍රමාණ දේව භක්තියකි. එයට පසුපසින් වූ කාලි දේවාලයත්, ඒ බිමේම පිහිටි සූනියම් ගම්භාර දෙවොලත් බැතිමතුන්ගේ වන්දනාමානයට නිරන්තරයෙන්ම ලක්වනු දැකිය හැකිය. පත්තිනි මෑණියන් පෙරටු කොට ගත් විෂ්ණු, කතරගම, සමන්, දැඩිමුණඩ සූනියම් ආදී සතර මහා දේවාල සමඟම තවත් මොරටුව, දුනුමාල, කඩවර ගණ ආදී ඇතුළු විවිධ නම් වලින් හැඳින්වෙන ප්‍රාදේශීය වශයෙන් ඇදහීමට පාත්‍රවන දේව කොට්ඨාසයන් ද මෙහි ඇදහීම දැකිය හැකිය. මේ සියලු පුද පූජා මැද ප්‍රධාන පත්තිනි දේවාලය ආශි‍්‍රතව පූජා බඳුන් රැගත් බැතිමතුන් නිරතුරුව සැරසෙන්නේ ශබ්ද පූජා සහිත පත්තිනි පූජාවටය.

මුළු රටට, පළාතට, ගම්මානයට සෙත් ශාන්තිය උදා කරමින් පත්තිනි මෑණියන් මේ දෙවොල තුළ දිව්‍ය ආලෝකයෙන් බැබලෙමින් වැඩවසන අයුරු සංකේතවත් කර ඇත.

මේ නවගමුව පත්තිනි දෙවොලෙහි ආරම්භය ද ඉතා අනාදිමත් යුගයක සිට පැවත එන බවට ජනප්‍රවාදවල සඳහන්ය. එකල්හි සොලීන්ගෙන් සිරිලංකා ද්වීපයට මහත් හිරිහැර සිදු වූ යුගයකි. වරක් සොලී රට ජයගෙන රුවල් නැවකින් පැමිණෙමින් සිටියදී දරුණු කුණාටුවකට හසු වූ පසු ගජබා රජු හා පිරිස කැලණි ගඟ ඔස්සේ පැමිණ නවගමුව ප්‍රදේශයේ රාත්‍රිය ගෙවා දමා ඇත. පාත්‍ර ධාතුවත්, පත්තිනි සලඹත් රැගෙන විත් නාගොමුවක පූජාසනයක් තනවා පාත්‍රයක තැබූ රන් සළඹ හා පාත්‍ර ධාතුව එහි තැන්පත් කර තැබුවේය. සොලී රට ජයගෙන එන ගමනේදී පූජා භාණ්ඩ ලෙස මේවා රජු විසින් පසුදින අනුරාධපුරයට යාමට සූදානම්ව ඒ අසළට ගිය ඔවුනට දැකගත හැකි වූයේ සළඹ වට කරගෙන සිටි සුදු නාගයන් සත් දෙනෙකි. ඒ පිළිබඳ වූ බැතියෙන් යුතුව ඒ පූජාසනය වට කරවා නවගමුව දේවාලය තැන වූ බවට ජනප්‍රවාදයේ එයි.

දෙවොල ආශි‍්‍රතව ඇති පන්සල සුගතබිම්බාරාමය යි. පන්සලට වඩා මුළු රට පුරාම ප්‍රචලිතව ඇත්තේ නවගමුව පත්තිනි දේවාලය ලෙසය. බෝධිය, පිළිමගෙය, වෛත්‍ය ආවාස ගෙය, ඇතුළුව දේවාල ඉඳි කර ඇති අයුරු පෙනේ.

නවගමුව දේවාලයේ ඇසල පෙරහර වාර්ෂිකව පැවැත්වේ. කුඹල් පෙරහර, මල් පෙරහර, පාවාඩ පෙරහර,ගොන්පිට පෙරහර, රන්දෝලි හා අලි පිට පෙරහර වශයෙන් සත් දිනක්ම එම පෙරහරවල් එම ග්‍රාමයේ සංචාරය කරයි. ගොන්පිට පෙරහර නවගමුවට ආවේනික වූවකි. අවසන් දින, දිය කැපීමේ චාරිත්‍රය ද දින හතකට පසු ගිහි මඩු මංගල්‍ය පැවැත්වේ. පසු දින වස් දොස් දුරු කරවීමට ගරායක් නැටුම පැවැත්වේ.

පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු මල්වානේ පඤ්ඤාසාර නාහිමිගේ ප්‍රමුඛත්වයෙන් සිදුවන අතර පෙරහර මංගල්‍යයේ නියමුවා වන්නේ වත්මනයේ මෙහි ප්‍රධාන කපු මහතා වන මාරලන්ද බණ්ඩාර කපු මහතාගේ ය.

උදේ 6.00, උදේ 10.00, දහවල් 2.00 හා සවස 6.00 හා රාත්‍රී 8.00 ආදී වශයෙන් මෙහි තේවාවන් පැවැත්වේ. මුරුතැන් බත් පූජාව සිදු කෙරේ. මුරුතැන් බත් පිළියෙල වන්නේ දේවාලයේ මුළුතැන්ගෙය ආවතේවකරුවන් අතිනි.

වැඩි දුර තොරතුරු මිහිතුරු සඟරාවෙන්............

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
ආශිර්වාදයේ දෙවොල නවගමුව

රන් සළඹ වට කොට තැනූ ආශිර්වාදයේ දෙවොල නවගමුව