පිහිටිම - උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ යාපනය නගරාශි‍්‍රතව පිහිටයි.

ගමන් මාර්ගය - යාපනය - මහනුවර ඒ 9 ප්‍රධාන මාර්ගයේ දී හමු වේ.

විශේෂත්වය - 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් උතුරු පළාතේ ඉඳි කළ මුල්ම ඉදිකිරීමයි.

 

මෙවර මිහිතුරු වෙතින් ඔබ දැනුවත් වන මේ ගොඩනැගිල්ල යාපනය මහනුවර ඒ 9 ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ පිහිටා ඇත. මෙරට ඉංගී‍්‍රසි ජාතීන් විසින් පාලනය මෙහෙයවන අවධියේ දී ඉදිකරන ලද චුන්ඩුකුලි පැරැණි කච්චේරි ගොඩනැගිල්ල මෙරට පරිපාලන මධ්‍යස්ථානයක් වෙනුවෙන් 19 වැනි ශතවර්ෂයේ ඉදිකරන ලද විශාලතම ගොඩනැගිල්ල ය. යාපනය නගරයට පිවිසුමක් ගෙනදෙන්නාක් මෙන් නැගෙනහිර දෙසින් ඉදිව ඇති මෙම ගොඩනැගිල්ල මෙම ප්‍රදේශයේ පැරැණි ඉදිකිරිම් අතර මුල් තැනක් මෙන්ම අලංකාරයක් ද ගෙනෙ දේ. මෙම කලාපය ආශි‍්‍රතව මහාපරිමාණ ඓතිහාසික නටබුන් නොමැති වුවද අනුරාධපුර පොළොන්නරු මෙහි නටබුන් සිහිගැන්වීමක් සිදුකරයි. මෙම ඉදිකිරීම බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් උතුරු පළාතේ ඉදිකරන ලද මුල්ම ඉදිකිරීම් ලෙසින් ද හඳුනාගනු ලබයි. නිෂ්්චිත දින වකවානු සපයාගත නොහැකි මෙම ඉදිකිරිම් 19 වැනි සියවසේ මුල් අවධියේ ඉදිවුවක් ලෙසින් පැහැදිලි ය. ඉංගී‍්‍රසි සමයේ දී ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ලෙසින් ද මෙම කච්චේරි ගොඩනැගිල්ල භාවිතයට ගෙන තිබේ.

සමස්ත ඉදිකිරීම් පිළිබඳ අවධානය යොමුකිරීමේ දී පැහැදිලි වන්නේ මෙහි ගෘහ නිර්මාණාත්මක රාමුව බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාත්මක ක්‍රමෝපයන් භාවිතයට ගනිමින් ඉදිකර ඇති බවකි. ඉතාමත් ඝනකම් වූ බිත්ති යොදාගනිමින් ප්‍රදේශයේ පවතින පරිසර තත්ත්වයන්ට හා උෂ්ණත්වයට ඔරොත්තු දෙන අයුරින් උස් වූ වහලය සමඟින් ගොඩනංවා ඇත්තේ දෙමහල් අයුරිනි. අලංකාරය සඳහා විවිධ ස්ථානයන්හි මොසැයික් රටාවන් ද නිර්මාණය කර ඇත. උස් ජනෙල් යොදා ඇත්තේ වැඩි ආලෝකය හා වායු ප්‍රමාණයක් ඇතුළුවීම සඳහා වූ අරමුණින් විය යුතුය.

ප්‍රදේශයට ආවේණික හා පහසුවෙන් සපයාගත හැකි ස්ඵටික හුණුගල් කොටස් හා කොරල් ඉතාමත් සුමට ලෙසින් සකස් කිරීමෙන් ඉදිකිරීම් සිදුකර ඇති අතර තවත් තැනක ගඩොල්මය ඉදිකිරිම් හඳුනාගත හැකිය. මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ ගොඩනැගීම් හා වහලය සඳහා දැව භාවිතයට ගත් බවට සාධක හමුවේ. ඉතාමත් අලංකාර දොර ජනෙල් මෙන්ම මොසැයික් බිම් ගඩොල් හා සුදු කළු බිම් ගල් ස්ථානයට ගෙන එන්නේ විශාල ප්‍රෞඪ බවකි. වැඩි ආලෝකයක් ගොඩනැගිල්ලට ලබාගැනීම සඳහා වැඩි උසකින් හා පළලකින් යුතු ජනෙල් සහ දොරවල් යොදාගෙන ඇත. බොහෝ ඝනකම් ලෙසින් ඉඳිව ඇති බිත්ති මනා ලෙසින් කපරාරු කර සුදුහුණු යොදාගත් බවක් දැකගත හැකිය. ආරුක්කුවේ අඩ කට හැඩය ලබාගැනීම කොරල් හෝ ගඩොල් මඟින් මධ්‍යම සක්කයකින් හිරවන සේ විශේෂ ක්‍රමෝපයක් යොදාගනිමින් නිර්මාණය කර තිබේ. මෙම ක්‍රමය ඉංගී‍්‍රසින් විසින් බහුලව යොදගන්නා ශක්තිමත් වාස්තුවිද්‍යා ඉදිකිරිම් ලක්ෂණයකි. ගොඩනැගිල්ලේ මධ්‍ය කොටස විවෘත ලෙසින් පවතින්නට ඇති අතර දෙමහල් ඉදිකිරීම්වල බොහෝ සාධක තවමත් ශක්තිමත්ව ඉතිරිව පැවැතීම බ්‍රිතාන්‍ය ඉංජිනේරු ශිල්පයේ දක්ෂතාව මැනවින් පිළිබිඹු කරයි.

ඉදිරි පිවිසුම ඉතාමත් අලංකාර ආරුක්කු හැඩතලයන් රැසකින් යුතුව ඉදිව ඇත. එම ආරුක්කු හැඩතලයන්ගේ මුල් කොටස කුලුනු මතින් ගොඩනංවා ඇත. එම ආරුක්කු හැඩතලයන් සියල්ලක්ම ගඩොල් හා කොරල් කොටස් යොදා ගනිමින් නිර්මාණය කර තිබේ. යාපනය කච්චේරිය පාලන කටයුතු මෙහෙයවීම සඳහා අවශ්‍ය ආකාරයට කාමර ස්ථාන ගත කර තිබෙනු දක්නට ලැබේ. ඒ අනුව කාර්යාල පරිශ්‍රයකට සුදුසු ආකාරයට මෙහි ගොඩනැඟීම ඉලිප්සාකාර ආකෘතියකින් යුතුව ඉදිකිරීම් මඟින් අලංකාරයක් සේම පාලන කටයුතු විධිමත්ම පවත්වා ගැනීමට හැකියාව ලැබෙන්නට ඇත. සියලු පහසුකම් සහිතව ඉදිව ඇති මෙම ගොඩනැගිල්ල තුළම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා බන්ධනාගාරයක් ද පවත්වාගෙන ගිය බවක් අනාවරණය වේ. සිතාමතා හෝ නොදැනුවත්කමින් සමාජය ඉදිරියේ වරදකරුවන් වූ මිනිසුන් සිරකර තබන ස්ථානය බන්ධනාගාරය ය. එහි සිරකර තබන්නේ මිනිසුන් ය. ඔවුන් කෙදිනක හෝ පසුතැවීම් හා නිවැරැදිවීම් මත යළි සමාජගතවන දිනය දක්වා රදවා තබන්නේ බන්ධනාගාරයේ ය. යම් විටෙක ජිවිතාන්තය දක්වාම එහි ගතකරනු ඇත. එනිසා ඔවුන් ද මිනිසුන් සේ සලකා රැකබලා ගැනීම බන්ධනාගාරයක මුලික අරමුණ ය. ඒ අනුව මෙම ගොඩනැගිල්ල මත පවත්වාගෙන යන්නට ඇත්තේ තාවකාලික සිරමැදිරි සහිත බන්ධනාගාරයක් විය හැකිය. එහිදි වරදකරුවන් තාවකාලිකව රඳවා තබා ගනිමින් දඬුවමක් ලෙසින් සිරකර තබාගැනීමට මෙය භාවිත කළා විය හැකිය.

අධික විවෘතතාවයට ඔරොත්තු දීමට නොහැකිව මේ වන විට විශාල හානියකට ලක්ව ඇති අතර වැඩි වශයෙන්ම ජලයේ වු අධික ලුණු ස්වභාවය බිත්තිමත වූ බදාම අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍ය හානියට ලක් කිරිම් ඉහළ දමයි. 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥා පණතට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ගොඩනැගිල්ල මේ වන විට සංරක්ෂණය කිරීමට අවශ්‍ය මුළික පසුබිම සකසාගෙන අවසන් ය.

වැඩි දුර තොරතුරු මිහිතුරු සඟරාවෙන්............

එච්.එම්. සමන් කුමාර ඇරෑගම

පුරාවිද්‍යා පර්යේෂණ නිළධාරී (කැණීම්)

ඡායාරූප නිශ්ශංක විජේරත්න

Location name: 

යාපනය කලඑළි කළ චුන්ඩුකුලි ගොඩනැගිල්ල