පිහිටිම - බස්නාහිර පළාතේ , කොළඹ දිස්ත්‍රික්කයේ , හේවාගම් කොරළයේ , පල්ලේ පත්තුවට අයත් කඩුවෙල නගරය ආසන්නයේ පිහිටයි.

ගමන් මාර්ගය -

1. කඩුවෙල සිට හෝමාගම දක්වා දිවෙන මාර්ග අංක 697 දරණ බස් මාර්ගයෙන් කොරතොටට ළඟා විය හැකියි.

2. කොළඹ - හංවැල්ල පරණ පාරේ කි.මි 14 පමණ පැමිණි විට හමුවන වෙලේ හන්දියෙන් හැරී අතුරුගිරය පාරේ කි.මි. 3 පමණ යන විට කොරතොට රජමහා විහාරයට ළඟා විය හැකියි.

විශේෂත්වය - වලගම්බා රජුගේ අනුග්‍රහයෙන් පුණ්‍ය භූමියක් වූ ඵෙතිහාසික විහාරස්ථානයකි.

සීමා - උතුරින් කොතලාවල හා පහල බෝම් යන වසම්වලින් ද නැඟෙනහිරින් නවගමුව වසමින් ද දකුණින් පොරේ වල්ගම, අතුරුගිරිය හා හබරකඩ වසම්වලින් ද බටහිරින් හෝකන්දර හා මාලඹෙන් සීමා මායිම් වෙයි.

කොරතොට රජ මහා විහාරය අයත්ව ඇත්තේ හේවාගම් කෝරළයට ය. හේවාගම් කෝරළය අයත් වූයේ මායා රටට ය. ශ්‍රී ලංකාවේ පළාත් පුරාණයට අනුව බෙදුණු රුහුණු, මායා, පිහිටි අතුරින් මායා රට වන්නේ මෙකී ප්‍රදේශයයි. එහි විසුවෝ එඩිතර අයවලුන් වූහ. මනා පෞරුෂයකින් හෙබි නිර්භිීත අයවලුන් ද වූහ. මෙහි විසුවෝ පෘතුගීසීන්ට විරුද්ධව කළ ජාතික සටහන්වලදී එඩිතරව සටන් කළහ. ඵෙතිහාසික මූලාශ්‍රවලට අනුව කෝට්ටේ, කැලණිය, මුල්ලේරියාව, හෝකන්දර, මල්වාන, වැලිවිට, හේවාගම, රග්ගහවත්ත, කඩුවෙල,බෝම්රිය, නවගමුව, හංවැල්ල හා සීතාවක යන දනව් එකල යුදමය වශයෙන් කැපී පෙනෙන්නට වූ ප්‍රදේශයන් ය.

මෙහි සොබාවික වූ පිහිටීම හේතු කොට ගෙන ආරක්ෂක විධි විධාන හා ඔත්තු සේවා සිදු වූ බව ද පැවැසේ. කොරතොට රජ මහා විහාරය, කන්දට යාබදව ඇති දේවාල කන්ද “බැලුන්ගල” නමින් සඳහන් වන්නේ ද සීතාවක රාජධානි යුගයේ කොළඹ සිට පැමිණෙන පරංගි හමුදා පිළිබඳ ඔත්තු බැලීමේ කාර්යයට මේ කන්ද යොදා ගත් බැවිනි.

කොරතොට විහාරය ගැන පවසත්ම කොරතොට ගම ගැන ද සඳහන් කළ යුත්තේම ය. රාජාවලිය පවසන ආකාරයට සිංහල රජුන් මුල්ලේරියාව සටනේදී වික්‍රමසිංහ මුදලි බිඳී ගිය විට රාජසිංහ යුද ජයග්‍රහණ සඳහා තෝරාගෙන සටනට ගොස් ඇත්තේ කොරතොට හා හෝකන්දර ආරච්චිවරුන් සමඟ හේවාගම හේවායන් බවයි. පසුව ඔවුන්ට නිලතල හා ගරු නම්බු ප්‍රදානය කළ බව ද සඳහන් ය.

මෙකී ඵෙතිහාසික පුරාවෘත්ත හා ජනප්‍රවාද රැසක් සමඟ “කොරතොට” නාමය හා ග්‍රාමය බැඳී පවතී.

කොරතොට සැබවින්ම සිත්තම් වූ ද මනෝරම්‍ය වූ ද බිම් පෙදෙසකි. නිස්කලංක හා සිහිලැල් සොබාවික සෞන්දර්යයෙන් අනූන කොරතොට ප්‍රදේශය දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වෙයි.

කොරතොට රජ මහා විහාරස්ථානයට ප්‍රවිශ්ට වන දොරටුව ඕනෑම බෞද්ධ බැතිමතෙක් වෙනුවෙන් නිබඳව විවෘතව පවතී. විහාර බිමට පය තබන ඕනෑම අයෙකුට ප්‍රථමයෙන්ම නෙත ගැටෙනුයේ ළදරු පාසැලයි. ප්‍රදේශයේ කුඩා දරුවන්ගේ නැණස පෝෂණය වෙනුවෙන් ආගමික මධ්‍යස්ථනයක් විසින් උර දී ඇති සමාජ මෙහෙවර ඉන් ප්‍රකාශ වේ.

ආවාස ගෘහය සමීපය මඳක් වෛචිත්‍රවත් දසුන්ගෙන් පූර්ණව ඇත. එතැන් සිට පඬිපෙළ ඔස්සේ ඉහළට ගමන් කළ විට විහාර මන්දිරයට ළඟා විය හැකියි. සැතපෙන බුදු පිළිම වහන්සේ වැඩ හුන් බුද්ධ මන්දිරය, හින්දු දේව ප්‍රතිමා, අවශේෂ ප්‍රතිමා, බෝ සමිඳු හා ගල් ලෙන් ද දැකගත හැකියි. මෙහි වහලය වන්නේ ගල් තලාවයි. කටාරම් කෙටූ ගල් ලෙන තුළ මෙය ඉඳි කර ඇත.

ලෙන් ලිපි, බිතු සිතුවම්, චිත්‍ර මූර්ති හා කැටයම් ලෙන සහිත උමං මාර්ගය ද මෙහි දක්නට ලැබෙයි.

මෙහි ඇති ලෙන් ලිපි ඉතා සුවිශේෂී ය. මේ ලිපි සියලුම ලෙන් ලිපිවලට වඩා දිග ය. එයින් එකක් මහ රජුගේ දියණිය වූ “මහබ්” විසින් පිදූ ලෙනක් ලෙසත් අනෙක් ලෙන පරුමක සුමනගේ පුත් “පරුමක සුමන” විසින් පිදූ බවක් සඳහන් ය. එය “මනාප දස්සින” ලෙන වශයෙන් හැඳින්වෙයි.

දෙවියන් උදෙසා පුද සත්කාර කළ බිමක් වශයෙන් අතීතයේ පටන්ම පැවැති බවට මෙහි සාක්ෂි තවමත් දක්නට ලැබෙයි. අදත් බොහෝ බැතිමතුන් දෙවියන්ගේ ආශිර්වාදය පතා මෙහි පැමිණ නොයෙක් වතාවන්වල යෙදෙන අයුරු දැකගත හැකියි. විශ්ණු , සමන්, කතරගම, පත්තිනි, සූනියම්, භද්‍රකාලි, ඊශ්වර, දැඩිමුණ්ඩ, කඩවර, අයියනායක හා ගණදෙවි යන දෙවියන්ගේ දේවාල මෙහි දක්නට ලැබෙයි.

විහාර මන්දිරයේ ඇති බිතු සිතුවම් ද ඵෙතිහාසික ය. නමුත්, ඒවා ද නෙලූ කාල වකවානුව නීර්ණය කිරීමට අපහසු ය. මේ සියලු සිතුවම් ගල්ලෙනෙහි බිත්තිය පුරා සිතුවම් කොට ඇත. ඒවා අතර සමනල කන්දේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම, සීවලී මහ රහතන් වහන්සේගේ රුව, බුදුරදුන් මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම, බුදුරදුන්ගේ පළමු ලංකාගමනය, චුලෝදර මහෝදර නාග යක්ෂයන් දමනය කරන අයුරු හා පස්වග මහනුන්ට දහම් දෙසීම යනාදිය එහි සිතුවමට නගා ඇත.

මෙම විහාරස්ථානයේ ඵෙතිහාසිකත්වය තව දුරටත් ඔප් නැංවෙනුයේ එහි ඇති උමං මාර්ගයෙනි. අද එහි උමං දොරටු වැසී ඇතැත් අතීතයේ මෙහි මඟ කැලණි ගඟ කඩුවක්කලම දක්වා විහිදී ගිය බව සඳහන් ය. උමං මඟ මහසීල් නම් රජු විසින් කළ බවට ජනප්‍රවාදයේ එයි.

ලෙන් විහාරගෙයට ඉහළින් ඇති කඳු මස්ථකයට පිවිසීමට පඩිපෙළකි. ඉන් ඉහළට ගිය විටදී උසින් අඩි 121 යුත් හිදි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ හුන් අයුරු දැක බලා ගත හැකිය. 2600 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉදිකළ මේ පිළිම වහන්සේ විහාරස්ථානයට සේම ප්‍රදේශයට ද මහත් ආලෝකයකි. මෙය බස්නාහිර පළාතේ ඇති උසම සමාධි පිළිමය යි. මෙම ස්ථානයට ගොස් බැලූ විට අවට සියල්ල දර්ශනය වෙයි. එය මනස්කාන්ත දර්ශනයකි. කඳු මස්තකයේ වැඩ හුන් හිදි පිළිම වහන්සේ විසින් ප්‍රදේශයටත්, රටටත් ආශිර්වාද කරනවාක් වැන්න. ඉතාමත් දර්ශනීය හා දැකුම්කළු ස්ථානයක් ලෙසට මේ ස්ථානය බොහෝ බැතිමතුන්ගේ කතාබහටත්, වන්දනාමානයටත් ලක් වී ඇත. එසේ හෙයින් නන් දෙසින් දිනපතාම මෙහි බොහෝ බෞද්ධ බැතිමතුන්ගේ පැමිණීම දක්නට ලැබෙන්නකි.

විවිධ හාස්කම්වලින් පිරී ඇති මේ පුණ්‍ය භූමිය වෙත නන් දෙසින් ඇදී එන ජනයා විවිධ ශාන්ති කර්ම, සෙත් පැතීම්, බෝධි පූජා භාරහාර දේව පූජා යනාදිය පවත්වති.

වත්මනෙහි මෙහි විහාරාධිපති වන්නේ හබරකඩ සෝභිත නා හිමියන් ය. විහාරාධිකාරි වන්නේ හබරකඩ සුමනසාර හිමියන් ය.

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
කොරතොට රජ මහා විහාරය

කොරතොට එළිය කරන කොරතොට රජ මහා විහාරය