පිහිටීම - මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටයි.

 

ගමන් මාර්ගය- පිළිමතලාව සිට දවුලගලට යන මාර්ගයේ මද දුරක් ගිය විට ඇම්බැක්කට ළඟා විය හැකිය.

 

විශේෂත්වය - හෙළ කැටයම් චිත්‍ර කලාවෙන් යුක්ත ඉපැරැණි දෙවොලකි.

 

ඇම්බැක්ක දේවාලය මහනුවර යුගයට අයත් ය. 14 වන ශත වර්ෂයේ ගම්පොල රජ කළ ධ්ධ්ධ් ව වික්‍රමබාහු රජ දවස මෙය ඉඳි කර ඇත.

හෙළ කැටයම් කලාවට නව ජීවයක් හා පන්නරයක් ලබා දෙන්නට සමත් වූ මෙහි කැටයම් කලාව අද වනවිට ලොව පුරා ප්‍රචලිතව ඇත.

දේවාලයේ ඉදිකිරීම් පිළිබඳව කියැවෙන පුරාවෘත්තය රසවත් ය. ඇම්බැක්ක ග්‍රාමයට ආසන්නව රංගම ග්‍රාමයේ සිටි එක් බෙර වාදකයෙකුට වැළඳී තිබූ කුෂ්ඨ රෝගය සුව කරදෙන ලෙසට, රුහුණු කතරගම මහා දේවාලයට ගොස් භාර හාර වූ අතර ඔහු කතරගම දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් සුවය ලැබුවේය. හේ තම රෝගය සුව වීම නිසා වාර්ෂිකව රුහුණු කතරගම දේවාලයට ගොස් බෙර වයා කෘතගුණ අකුරටම ඉටු කර ඇත. ඔහු වියපත් වූ විට ඉදිරි කාලයේ දේවාලයට පැමිණීමට නොහැකි වේ යැයි දුකින් පසු විය.

දිනක් ඔහු මෙසේ මෙනෙහි කරමින් දේවාල භූමියේ වැතිර නිදන්නට විය. රාත්‍රී කාලයේ කතරගම දේවිදුන් ඔහු ඉදිරියේ පෙනී සිට ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව දුක් නොවන ලෙසත්, ගමට යන ලෙසත්, නොබෝ දිනකින් වෘක්ෂයකින් ලකුණු පෙන්වා දේවිදුන්ගේ අනුහස් පාන බවත්, පවසා ඇත. එවිට බෙර වයා පෙරසේම බුහුමන් දක්වන්න යැයි ඉල්ලා අතුරුදහන්ව ඇත. බෙර වයන්නා එයින් සැහීමකට පත් වී නැවත ඇම්බැක්ක ග්‍රාමය සමීපයේ පිහිටි රංගම ග්‍රාමයට පැමිණ ඇත. වික්‍රමබාහු රජුගේ බිසෝවක් වූ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියට අයත් මල් උයන පිහිටා තිබුණේ ඇම්බැක්ක ග්‍රාමයේ ය. දිනක් එම උයන පිරිසිදු කරමින් සිටි උයන්පල්ලාට එහි වූ කදුරු ගසකට කැත්තකින් කෙටූ විට එයින් බඹ හත්රියනක් උසට රුධිර දහරාවක් ගලා ගියේය. මේ පිළිබඳව දැනගත් බෙර වාදකයා කඩිනමින් එහි පැමිණ ඇත. එහි පැමිණි බෙර වාදකයා තමා කතරගමදි දුටු සිහිනයට අනුව මෙහි ප්‍රදර්ශන කොට ඇත්තේ කතරගම දෙවියන්ගේ අනුභාවය බව උයන්පල්ලාට පවසා ඇත. එතැන් පටන් ඔවුන් දෙදෙනා කදුරු ගස වෙත පුද පූජා පවත්වන්නට කටයුතු කරන ලදී. මෙම පණිවුඩය ලද වික්‍රමබාහු රජතුමා මල් උයනයෙහි තෙමහල් ප්‍රාසාදයක් වූ දෙවොල ඉදි කිරීමට කටයුතු යොදන ලදී. එහි වැඩ නිමා වීමෙන් පසු රජුගේ අතින් කතරගම දේව රූපය සිංහාසනය මත තැන්පත් කර ඇත.

දේව රූප තැන්පත් කිරීමෙන් පසු මාලිගය වෙත යාමට දෝලාවට නැග ගත්තද දෝලාව පැත්තකට බර වී ඇත. එයින් රජුට මාලිගාවට යාමට නොහැකි වී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. රජු පසුව දෝලාව දේවාලයට පූජා කොට ඇත. එය අද දක්වාම සුරක්ෂිතව පවතී. ගම්බිම්, කුඹුරු, වතුපිටි අනුපස් අරමුණක් ද, අලි ඇතුන් ආදි මහා පුද පූජාවන් රැසක් රජතුමා විසින් දේවාලයට පූජා කර ඇත. දේවාලයේ රාජකාරි 67 ක් ඇති කරන ලදී.

හෙනකඳ බිසෝ බණ්ඩාර දෙවිය උඩුනුවර මාත්ගමුව ගමේ තිබූ බෙලි ගසකින් වැටුණු බෙලි ගෙඩියකින් ඕපපාතිකව බිහි වූ බව කියැ වේ. හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය කොත්මලේ බුසල්පිටිය ප්‍රදේශයේදී අභාවයට පත් විය. එහි වැසියන් කුහර සහිත කහට කොටයක දේවියගේ සිරුර බහලා මහවැලි ගඟේ පාකර එවා ඇත. සිරුර ගම්පල කහටපිටිය ප්‍රදේශයේදී ගොඩ ගැසීමෙන් පසු එම ප්‍රදේශය භාරව සිටි උනම්බුව මහ නිලමේ විසින් වික්‍රමබාහු රජුට දන්වූ බව කියැ වේ. පසුව උඩරට සියලු දේවාල වල භාරකරුවන් දේවියගේ රාජාභරණ රැගෙන යාමට මාලිගයට පැමිණ ඇත. එහි අනපේක්ෂිතව මතු වූ කළු දෙබරුන් නිසා ඔවුනට එම උත්සාහය අත්හැර දැමීමට සිදු විය. දේවියගේ ආභරණ රැගෙන යාමට හැකි වූයේ ඇම්බැක්ක දේවාලයේ භාරකරුවන්ට පමණි. දේවියගේ දේහය පස් දිනක් පෙරහර පවත්වා ආදාහනය කරන ලදී. මෙම ආභරණ අද දක්වාම සුරක්ෂිතව පවතී.

මරණින් පසු කතරගම දෙවියන්ගේ මෙහෙසිය බවට හෙනකඳ බිසෝ බණ්ඩාර පත් වූ බවත්, දෙවියන් විසින් ඇය ඇම්බැක්ක දේවාලයේ අධිපති දෙවඟන බවට පත් කළ බවත් ජනප්‍රවාදයේ දැක් වේ. මෙම අභාවය සිරිතක් කර ගනිමින් අද දක්වාම ඇම්බැක්ක දේවාලයේ දිය කැපිම පෙරහැර කහටපිටිය දක්වාම පැමිණේ. එය අවමංගල පෙරහැරක ස්වරූපයක් ගනී. දිය කැපීමේ චාරිත්‍රය ඉටු කිරිමෙන් පසු බෝතල පිටියේ කුඩා දේවාලයකට පැමිණීමෙන් පසු පරණ සිරිත් පරිදි උනම්බුව අධිකාරම්වරයාගේ පරපුරෙන් පැවැත එන්නකු පළමුව හදුන්කූරක්, කාංගනයක්, රිදී පඬුරු දහසක් පූජා කළ යුතුය. ජනතාවට පුද පූජා පැවැත්වීමට හැකි වන්නේ ඉන් පසුවයි.

ඇම්බැක්ක දේවාලය එකල ගොඩනැගිලි 8 කින් ඉදි කර ඇත. ඉන් දෙකක් දේවාල භූමියට පිටතින් පිහිටා ඇත. වාහල්කඩ, මහා දේවාලය, පල්ලේ දේවාලය, මුළුතැන්ගෙය, වී අටුව, බුදු මැදුර, දේවාල භූමිය තුළ පිහිටා තිබේ. රිටිටාගෙය සහ සිංහාසනය දේවාල භූමියෙන් පිටත ඉදිකර ඇත. මෙහි කෝවිල් 7 ක් ඉදිකර තිබූ බව සඳහන් වුවත් අද දක්නට ලැබෙන්නේ සූනියම් කෝවිල පමණි. වික්‍රමබාහු රජු විසින් පූජා කරන ලද අඩි 8 1/2 කින් යුත් ඇත් දල යුගල සහ රුධිරය නිකුත් කදුරු වෘක්ෂයේ මුල මත නිම කරන ලද මොණර රූපය ද දේවාලය සතුව පවතී. ප්‍රධාන වාහල්කඩ දිගින් අඩි 22 අඟල් 11 කි. පළලින් අඩි 18යි. අඟල් 8 ක් වන ආයත චතුරස්‍රාකාර හැඩයකින් යුතු වහල්කඩ අඩි දෙකහමාරක් පමණ උස් වූ පාදමක් මත ඉදි වී ඇත. දැව කණු 10 ක් මත මෙහි පියස්සක් සවි කර ඇති අතර මුදුන් යට ලී, පරාල, කළාල, කුරුපා යනාදියෙන් සෑදුණු වහලය පල හතරකින් යුතුව පෙති උළු සෙවිලි කොට ඇත. එක් කණුවක පෙකඩ හතරක් ද පළල පැත්තේ පෙකඩ දෙකක් ද වන දැව කණුවල හංසයා, නෙළුම් මල්, සියුම් නෙළුම් මල ලණු කැටය, තුඩින් ලියවැලක් රැගෙන සිටින මොණරකු, මොණර පූට්ටුව, පිටින් පෙති 40 ක් හා මධ්‍යයේ පෙති 21 ක් ඇති මලක්, කොන්ඩය බැදි කාන්තාවන් දෙදෙනකු, යෝගී රුවක්, ගජසිංහ රුපයක්, ගුරුලෙකු, හංස පූට්ටුව, ලියවැල් මෝස්තර, වහල්කඩ තුළ නිර්මාණය කර ඇත.

මහා දේවාලය කොටස් 5 කට බෙදා ඇත. හෙවිසි මඩුව නොහොත් දිග්ගෙය, සදුන් කූඩම, අන්තරාලය හෙවත් මැද දිග්ගෙය, පිරිත් කියන ගෙය, වැඩ සිටින මාලිගය නොහොත් ගර්භ විමනය ලෙස හඳුන්වනු ලැබේ. දේවාලයට ලී කැටයම් කලාව තුළින් ලෝ පතල කීර්තියක් ලැබී ඇත්තේ එහි ඇති දැව කණුවල හා එහි කොටා ඇති වෙනත් කැටයම් නිසාය. අඩි 52 යි අඟල් 10 ක් දිග, අඩි 25 යි අඟල් 9 ක් පළළ විවෘත ආකාරයෙන් සැකසී ඇති මෙම ගොඩනැගිල්ල අඟල් 34 ක් පමණ උස කළුගල් පාදමක් මත ඉදිකොට ඇත. දැව කණු 32 ක් මත නිමවා ඇති දිග්ගෙය. වහලය සුවිශේෂි වන අතර කළාලවල ආධාරයෙන් පියස්ය. ඉදි කර තිබේ. මෙහි මුදුන් යටලීයේ සවි කර ඇති කුරුපාව අසල අති ඇණය යනුවෙන් හඳුන්වයි. අඩි 2 1/2ක් පමණ වූ ලී කැබැල්ලට සම්බන්ධ වන සේ පරාල 26 ක් එකට වද්දා තිබේ. මෙය කැණිමඩල ලෙස ද හඳුන්වයි. මෙහි සම්බන්ධයන් සඳහා කිසිදු යකඩ ඇන යොදා නැත.

පළල පැත්තට කණු 4 ක් ද දික් අතට කණු 6 බැගින් ද යුතුව ඇතුළතින් ඇති කණු ද සහිතව ගම්මාලු සහ පිහිඹියා දැවයෙන් දික් ගෙය නිර්මාණය කර ඇත. එක් කණුවක 4 බැගින් කැටයම් 128 ක් දක්නට ලැබේ. ඒවා එකිනෙකට වෙනස් වේ. මෙහි ඇති සුවිශේෂි කැටයම් ලෙස මල් මෝස්තර, ගරුඩ පූට්ටුව, කෙටේරියන් වැනි ආයුධයක්, අතින් ගත මල්ලව පොරකරුවෙක්, නලඟන රුව, ලියවැල්, හංස පූට්ටුව, ලණු ගැටය, ගරුඩ රුව, දේව රුව, ලී කෙළි, සිංහරූ, මොණර, කිඹිහි මුණ, ගිජුලිහිණියා, අශ්වාරෝහක රූපය, ඇත් සිංහ පොරය, මල්ලව පොරය, ඇත්කද ලිහිණියා, ලිය තඹරා මල යන ආදී කැටයම් දක්නට ලැබේ. මෙම කණු ජෝඩු වශයෙන් ගෙන ඒ මත පේකඩ 3 බැගින් පේකඩ 6 ක් සවි කර ඇත. පේකඩයට පැත්තේ පලාපෙති මොස්තර දැකගත හැක. කණු මත තබන තලාද බාල්කයේ මැද කොටස ද අලංකාර කැටයමින් සරසා තිබේ. දේවාල ශාලාවට ඇතුල් වන තැන තලාදවල ලියවැල් කැටයම් 16 ක් දක්නට ලැබේ. ඒ සෑම ලියවැලක්ම මැදින් පටන්ගෙන දෙපසට විහිදී ගොස් ඇත. ඉන් දෙකක් හංසයා හා හංස පූට්ටුව දැක්වෙන ඒවා වේ. ලියතඹරා මල කැටයමින් දැකිය හැක්කේ ඇම්බැක්ක දේවාලයේදී පමණි.

දේවාලයේ දිග්ගෙය ඇති සමස්ත කැටයම් සංඛ්‍යාව 514 ක් වේ. එක කනුවක 4 බැගින් වූ කණු 32 කැටයම් 128 ක් ද එක කනුවක 8 බැගින් වූ කණු 32 ලියපත් වර්ධන කැටයම් 256, පේකඩ නෙළුම් කැටයම් 64, බාල්ක චිත්‍ර කැටයම් 30, තලාද චිත්‍ර කැටයම් 36 යි. මුළු කැටයම් සංඛ්‍යාව 514 කි.

දිග්ගෙයින් ඇතුල් වී දෙපස සිංහ රූප දෙකකින් අලංකාර මකර තොරණක් මැදින් වූ දොරටුවෙන් ඇතුල් වූ පසු හමුවන කුඩා ශාලාව “සදුන් කුඩම” නම් වේ. සදුන් කුඩමට පිවිසීමට යොදා ඇති උළුවස්ස හා දේවාලයේ මුදුන් වහලේ ඇති කොත් කැරැල්ලත් ගම්පොල රජමාලිගාවෙන් ගෙන ආ බව කිය වේ.

දේවාල භූමියට පිවිසෙන විට වම්පසින් හමුවන්නේ කොටස් දෙකකින් සමන්විත වී අටුවවකි. මෙම අටුව දිගින් අඩි 39 අඟල් 4 කි. අඩි 13 අඟල් 7 කි පළලින් සමන්විතයි. අටුව ගබඩා දෙකකි. දිනපතා තුන්වතාවක් කෙරෙන දේව පූජාව සඳහා අවශ්‍ය වී මෙහි තැන්පත් කර ඇත. දෙවියන්ගේ ආහාරය පිළියෙල කරන ගෙය මුළුතැත් ගෙය ලෙස හඳුන්වයි. එය කාමර දෙකකින් හා ශාලාවකින් සමන්විතයි.

දේවාලයේ උදේ සහ දහවල් මුළුතැන් පූජාවක් සවස ගිලන් පස පූජාව අඛන්ඩව අද දක්වාම ශබ්ද පූජාවත් භක්ති පූර්වකව පවත්වා ගෙන යනු ලබයි. දේවාලයට උතුරු කෙලවරේ යාර 100 පමණ දුරින් කුඩා කදු ගැටයක් මත සිංහාසනය ඉදිකොට ඇත. ඇසල පෙරහර පවත්වන දිනවල පෙරහර ගෙනයනු ලබන දේවාභරණ මඳ වෙලාවක් තැන්පත් කොට චාරිත්‍ර ඉටු කිරීම සිදු කරනු ලැබේ. ඇම්බැක්ක දේවාලයේ වාර්ෂිකව සිදු කරන සිව් මංගල්‍යයන් අතරින් ඇසල මංගල්‍යට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. රාජසිංහ රජු ද මෙම දේවාලයට ඉඩම් පූජා කර තිබේ. දේවාලයට ඒ අනුව අයිති කුඹුරු ප්‍රමාණය අක්කර 174 කි. මේ දක්වා දේවාලයට රාජකාරි නිල පංගු 40 ක් නම් කොට ඇත. එය ගම් වසම් පංගු වලින් සමන්විත වේ.

සටහන හා ඡායාරූප නිශ්ශංක විජේරත්න

Location name: 

කැටයම් කලාවට පණ දුන් ඇම්බැක්ක