පිහිටීම - බස්නාහිර පළාතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුවාන ප්‍රදේශයේ පිහිටයි.

ගමන් මාර්ගය - හෝමාගම - කිරිවත්තුඩුව පාරේ මීටර් 50ක් පමණ දේවාල පාරේ යා යුතුය.

විශේෂත්වය - කඳ සුරිඳුගේ නමින් පුද සත්කාර කෙරෙන දෙවොලකි.

 

හේවිසි, හොරණෑ, සක් හඬ මධ්‍යයේ මහා ගරු ගම්භීර වූ ද අලි ඇතුන් සපිරිවරාගත් පෙරහරක් වෙල් යාය මැදින් ඉදිරයට ඇදෙයි. ඇසළ මහේ පැවැත්වෙන මේ අපූරු පෙරහර සියැසින් දැක බලා ගනු වස් ජනී ජනයා රැස් කකා බලා හිඳිති. රාත්‍රී අන්ධකාරය පලවා හරින්නට සමත් වූ ආලෝකයන් අතරට සඳ එළිය ද, පන්දම් එළි හා දැල්වෙන විදුලි පංකා ද කෙළවරක් නැත. ලොකු කුඩා ජනී ජනයා රැස් කකා, පොර කකා බලා හිදින්නේ පෙරහරේ වෛචිත්‍රවත් දර්ශනයයි.

මේ වූ කලී අන් කිසිවෙක් නොවේ. ඇසළ මහේදී කළ එළි බසින ශ්‍රී කන්ද කුමාර කතරගම දෙවියන් නමින් සිදු කෙරෙන වෛචිත්‍රවත් පෙරහර ය. පසුගිය ඇසළ මහේදී ද එකී වෛචිත්‍රවත් අයුරින් පෙරහර නිමාව දකින ලදී.

හෝමාගම කටුවාන ප්‍රදේශයේ වසර 60ක පමණ ඉතිහාස කතාවකට උරුමකම් කියන මේ දෙවොලේ ප්‍රධාන කපු මහතා වන්නේ ආර්.එම්.චන්ද්‍රදාස මහතා ය. හේ සිය පුතනුවන් ද සමඟින් කතරගම දෙවියන් වෙනුවෙන් ප්‍රදේශයේ ජනී ජනයාගේ සුභ සිද්ධිය උදෙසා දෙවොලෙකින් ඉටු විය යුතු යුතුකම් හා කාර්යභාරයන් වෙනුවෙන් කටයුතු නොපිරිහෙලා ඉටු කරයි.

වාර්ෂිකව පැවැත්වෙන මහා ඇසළ පෙරහර මෙහි උත්කර්ශවත්ම අවස්ථාවයි. රුහුණු මහා කතරගම පෙරහර නිමාව දුටුවාට පසුව දිනෙක ඇසළ මහේදී ම මෙහි ද වාර්ෂිකව ඇසළ පෙරහරක් පවත්වයි. සකසා ගන්නා ලද සුභ හෝරාවක් බලා සුභ නැකතක් බලා එකී කටයුතු සිදු කෙරේ. පළමුවෙන්ම සිදු කෙරෙන්නා වූ කාර්තව්‍යය වන්නේ කප් සිටුවීමයි. පළාත් වාසී, ප්‍රදේශ වාසී හා ගම්වාසී සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ උදව් උපකාර මධ්‍යයේ දෙවියන්ට ආරාධනා කිරීම මෙහි දී සිදු කෙරෙන විශේෂ කර්තව්‍යයයකි.

කප් සිටුවා මාස 03 ක් ඇතුළත පෙරහර පැවැත්වීම සිදු කෙරේ. එහිදී දේවාල පෙරහර දින 03ක් පුරා පැවැත්වෙයි. ඊට මල් පෙරහර, පාවඩ පෙරහර හා රන්දෝලී පෙරහර ඇතුළත් වෙයි.

මල් පෙරහර සිදු කෙරෙනුයේ දේවාල වටේම මලින් සිදු කෙරෙන පෙරහරක් වශයෙනි. පාඩව පෙරහරට දේව රූප වඩමවා, මුරුතැන් පූජාව පවත්වා දේවාල වටේට සිදුවන පෙරහර යි.

අනතුරුව තෙවැනි දිනයේදී සිදු කෙරෙනුයේ මහ පෙරහරයි. නැතිනම් රන්දෝලී පෙරහරයි. එය නැටුම්, ගැයුම්, වැයුම්, අලි ඇතුන්, දේව රූප හා දේවා භාරණ වඩමවා,ආලෝක පූජා මධ්‍යයේ සිදු කෙරෙන්නකි. මෙය දේවාල භූමියෙන් පිටතට ද පැමිණ හෝමාගම නගර මධ්‍යයෙන් විදී සංචාරය පවත්වා රාත්‍රී 10ට පමණ නැවත දේවාල භූමිය වෙත සේන්දු වෙයි. අනතුරුව මෙහි ගිනි පෑගීම සිදු කෙරේ. පසුදා තෝරමුල්ල - පිටිපන තොටුපොළට ගොස් දිය කැපීම සිදු කෙරේ. අනතුරුව දෙවියන්ට පින් දී, වස් දොස් ඇස් වහ කටවහ වෙනුවෙන් ගරා යකුම නටයි.

රන්දෝලි පෙරහර පවත්වා සතියකට පසුව මඩු පේ කිරීම, හා දේව පත්තිනි නැටීම, වාහල්, දොවොල් හා තෙල්මේ නැටීම සිදු කෙරේ. උදේට දේව දානය සිදු වේ. තවද සත්පත්තිනි මෑණියන් වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානය දෙයි. අනතුරුව සියලු දෙනාටම දානය දී පෙරහර කටයුතු සියල්ල නිමාවට පත් කරයි.

ඇසළ පෙරහරට අමතරව මෙහි විශේෂ පුද පුජා විධි පැවැත්වේ. ඒ අතරට දිනපතා සිදු වන පූජාවන් පවති. දෙවියන්ගේ ආශිර්වාදය පතා දෙවොලට එන ඕනෑම බැතිමතෙක් වෙනුවෙන් ඉටු විය යුතු පුද සත්කාර හා යාතිකා කිරීම් සිදු කෙරේ. දිනපතා සවස 6.00ට තේවාව හා මල් පහන් පූජා සිදු කෙරේ.

මීට අමතරව බැතිමතුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව මුරුතැන් පූජා, භාර හාර, සෙත්කවි, ශාන්ති කර්ම, බෝධි පුජා ද සිදු කෙරේ. කතරගම දෙවියන් ප්‍රමුඛ කොට දැඩිමුණ්ඩ, පත්තිනි, විෂ්ණු, ගම්භාර, සුනියම් හා කඩවර දෙවියන් වෙනුවෙන් ද පුද සත්කාර කිරිම් මේ දොවොල් භූමියේදී සිදු කෙරේ.

කෘෂි අර්ථ ක්‍රමය වටා බැඳුණු ඇදහිම් හා වත් පිළිවෙත් හා දේව ආශිර්වාද ලැබීම් වලට හුරු වූ ශ්‍රී ලාංකීක ජනයාගේ ආත්මයේ තවමත් ඉමහත් වූ දේව භක්තිය පිරී පවතී. දෙවියන්ට පුද සත්කාර කොට, කන්නලව් කොට දේව ආශිර්වාදය ද ප්‍රාර්ථනා කිරීම අද ඊයෙක සිට ඇති වුවක් ද නොවේ. මේද එහි ප්‍රති නිර්මාණයකි. දෙවියන්ට මහත් වූ බැති සිත් ඇත්තෝ දෙවියන් උදෙසා මෙවන් හරසර පවත්වතී. එසේම දෙවියන්ගේ ආශිර්වාදය ද ලබති.

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
ශ්‍රී කන්ද කුමාර දේවාලය

කඳ සුරිඳුගේ ඇල්ම බැල්ම වැටෙන ශ්‍රී කන්ද කුමාර දේවාලය